COLOMBO (News 1st) : ආණ්ඩුව නොහැකියාව වසා ගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ චරිත ඝාතනය කිරීමට ද පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු එසේ පැවසුවේ අද පැවැති තවත් ජන හමුවක් අමතමින් ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන හමුව පැවැත්වුණේ කිලිනොච්චියේදී ය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා
2011 ලෝක කුසලාන අවසන් තරගයට සහභාගී වූ කණ්ඩායම අද ඉතාමත් පහත් විදිහට බොරු කතා ගොතලා ඉතාමත් නින්දිත ආකාරයට විවේචනය කරන රජයක් තමයි අද අපේ රටේ බිහිවෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව කරන්නට ඕන කුමක්ද? රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම, රට ගොඩනැගීම, තමන්ගේ වැඩ බැරිකම වසාගන්නට තමන්ගේ නොහැකියාව වසාගන්නට ලෝක පුජිත ක්‍රිකට් කණ්ඩායමට මඩ ගහන එක තමයි කරන්නේ. කුමාර සංගක්කාර ඇතුළුව මහේල ජයවර්ධන ප්‍රමුඛ මුත්තයියා මුරලිදරන් ප්‍රමුඛ මේ සියලුම දෙනා තරගය පාවලා දුන්නෙත් නෑ. රට පාවාලා දුන්නෙත් නෑ. ඒ අය කරේ අපේ රටට ඉමහත් ගරුත්වයක් ලබාදීමයි. මේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝකයේ තිබෙන වෙනත් ආයතනවල ඒ තනතුරු අහිමි කරවමින් මේ බොරු පරීක්ෂණ නිර්මාණය කරලා අපේ රටටත් මහා නින්දාවක් මහා අපහාසයක් මහා කැළලක් ගෙන දෙන සෙල්ලක්කාර දේශපාලනික වැඩසටහන්වල නිරත වීමෙන් වළකින්නැයි කියලා වැඩ බැරි ආණ්ඩුවට මම කියන්න කැමතියි.
පේදුරුතුඩුවේ පැවැති ජන හමුවකට ද සහභාගී වූ සජිත් ප්‍රේමදාස මහතා අනතුරුව ප්‍රදේශයේ තරුණයින් සමග පාපන්දු ක්‍රීඩාවේද නිරත විය.