නාකොටික් නිලධාරීන් 12 දෙනා අධිකරණය හමුවට

නාකොටික් නිලධාරීන් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

by Staff writer 02-07-2020 | 3:04 PM
COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනෙකු ලබන 08 වැනිද දක්වා රදවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාන්නේ ය. ඒ සැකකරුවන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සැකකරුවන් 12 දෙනා අතර පොලිස් පරීක්ෂකවරයෙක් උප පොලිස් පරික්ෂකවරුයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් අට දෙනෙක් වෙති. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කරන උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සෙසු නිලධාරින් සිව්දෙනා , සිවිල් පුරවැසියන් තුන්දෙනා අනෙක් සැකකරුවන් සමග මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශන අනුව අනාවරණ වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී අනාවරණය කළේ ය. නියේජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසරය ලබා දුන්නේ ය. මෙම පොලිස් නිලධාරීන් 12 දෙනා අධිකරණයේ නිරික්ෂණය සදහා ලබන 08 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. මෙම ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවේ ඉදිරි විමර්ශනවලට බලපාන ඉතා සංවේදී කරුණු ඇති බැවින් එම වාර්තාව පිටස්තර පාර්ශ්වයක් අතට පත්වුවහොත් එම විමර්ශනවලට අගතියක් සිදුවිය හැකි බැවින් එය සුරක්ෂිතව තැබීමට නියෝගයක් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඉල්ලීම සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම විමර්ශන ගොනුව සුරක්ෂිත තැබීමට නියෝග කළා ය.