වරායේ විරෝධය වර්ජනයක් වෙයි

වරායේ විරෝධය වර්ජනයක් වෙයි

by Staff writer 02-07-2020 | 9:11 PM
COLOMBO (News 1st) : කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය යටතට පවරා ගන්නැයි ඉල්ලා සේවකයින් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේවෙතත් තමන් හමුවී ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබේ. පසුගිය දා නැගෙනහිර පර්යන්තයේ සවි කිරීම සඳහා රැගෙනවිත් තිබූ ගැන්ට්‍රි දොඹකර සවි කිරීමට මෙතෙක් ඉඩ ලබානොදීම මුල් කරගනිමින් ඊයේ මෙම විරෝධතා ආරම්භ විය. සේවකයින් තිදෙනෙකු තවමත් සිටින්නේ දොඹකර මතයි . ඔවුන්ට සහය දැක්වූ තවත් සේවකයින් පිරිසක් ඊයේ රාත්‍රියේ ද එම ස්ථානයේ රැඳී සිටියහ. ජයබහලුම් හා සමගිබහලු පර්යන්තයේ සේවකයින් මොවුන්ට සහාය දක්වමින් අද දහවල් සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුණහ. ගාලු වරායේ සේවකයෝ ද අද මෙම විරෝධතාවට සහය දැක්වූහ. ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ එහිදී සාධනීය පිළිතුරක් තමන්ට නොලැබුණු බවයි . ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා , වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ සාකච්ඡාවේ මූලික කාරණා ගැන අනෙක් සේවකයින් දැනුවත් කර පිළිතුරක් ලබාදෙන ලෙසයි. පිළිතුරක් ලැබෙන තෙක් අමාත්‍යංශයේ රැඳී සිටි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුව එම ස්ථානයෙන් පිටව ගියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2635824860013499/