විදුලි බිලට සහන දෙන්න කැබිනට් යෝජනාවක්

මාර්තු, අප්‍රේල් , මැයි විදුලි බිලට සහන දෙන්න කැබිනට් යෝජනාවක්

by Staff writer 02-07-2020 | 12:06 PM

COLOMBO (News 1st) –  මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත් සඳහා සහන සැළසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ කරුණු දැක්වීමෙන් අනතුරුවටයි. එහිදී ජනතාව වෙනුවෙන් සහන ලබාදිය හැකි ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අමාත්‍යවරයාගෙන් විමසා තිබුණි. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලි බිලට සහන සැළසීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කරන බවයි. අදාළ කමිටුව ඉදිරිපත් කරන යෝජනා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට යොමු කර සහන සැළසීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. අදාළ මාස 3 සඳහා විදුලි බිල් නොගෙවීමෙන් මණ්ඩලයට අය විය යුතු මුදල රුපියල් බිලියන 20 ක් පමණ වේ .