දැරියක අපයෝජනය කළ පුද්ගලයෙක් 30 වසරක් සිපිරි ගෙට

දැරියක අපයෝජනය කළ පුද්ගලයෙක් 30 වසරක් සිපිරි ගෙට

by Sagarika Chathumali 02-07-2020 | 6:24 PM

COLOMBO (News 1st) - බාල වයස්කාර දැරියක අපයෝජනය කළ සිද්ධියකට වරද පිළිගත් 48 හැවිරිදි  පියෙකුට අනුරාධපුර මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත වසර 30 ක සිර දඬුවමක් නියම  කෙරිණ.

අගතියට පත් දැරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා එකී වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම්,  විත්තිකරුට තවත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළේ ය. තව ද මුදලින් රුපියල් 12500ක දඬ මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬ මුදල ගෙවීම පැහැර හරින්නේ නම්, විත්තිකරු තවත් වසර දෙක හමාරක සිර දඬුවමකට යටත් කෙරිණ. අදාළ දැරිය වරින්වර අපයෝජනය කළ බවට අදාළ විත්තිකරුට එරෙහිව අධිචෝදනා 5ක් යටතේ නඩු පවරා තිබූ අතර ඔහු එකී අධිචෝදනා 5ටම වරද පිළිගෙන තිබේ. අනුරාධපුර අංක 2 මහාධිකරණයේ විනිසුරු සහ උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.