''කොළඹ 13න් හමුවූ ආසාදිතයා සමාජයෙන් නොවෙයි''

''ජින්තුපිටියෙන් හමුවූ ආසාදිතයා සමාජයෙන් නොවෙයි'' - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 02-07-2020 | 8:45 PM
COLOMBO (News1st) : අද පස්වරුවේ කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුකර ගත් පුද්ගලයෙකු කොළඹ IDH රෝහලට ඇතුළත් කර තිබේ. සෞඛ්‍යා සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කළේ, මෙම රෝගියා සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවයි . කෝවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් අදාළ පුද්ගලයා, ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙක් ලෙස සේවය කර තිබේ. ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමෙන් පසු දින 14 ක නිරෝධායනයකින් පසු රෝග ලක්ෂණ නොමැති අයෙකු බවට හඳුනාගෙන තිබේ. නිවස තුළ ස්වයං නිරෝධායනයනකට ලක්කළ දින 14 දී කළ PCRපරීක්ෂණයෙන් අදාළ පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු කොළඹ දහතුන ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මේ තත්ත්වය යටතේ ගත යුතු සියලු ආරක්ෂක පියවරයන් අදාළ අංශ විසින් ගනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර අද දිනයේ දී පමණක් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12කි. ඉන් පුද්ගලයින් 10 දෙනෙකු කටාර් සහ කුවෙට් සිට පැමිණි පුද්ගලයිනි. අනෙක් දෙදෙනා ඉන්දියාවේ සිටි පැමිණි පුද්ගලයින් ය. මේ අනුව මෙරටින් වාර්තාවන කෝරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2,066 දක්වා ඉහළ ගොස් තිබේ.