වැලි බලපත්‍ර ඉවත් කිරීම මැතිවරණ නීති උල්ලංඝණයක්

වැලි ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීම මැතිවරණ නීති උල්ලංඝණයක් - නැගෙනහිර පළාත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

by Staff writer 01-07-2020 | 9:20 PM

COLOMBO (News 1st) - මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වැලි ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීම මැතිවරණ නීති උල්ලංඝණයක් බව නැගෙනහිර පළාත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසම වෙත දන්වා තිබේ.

නැගෙනහිර පළාත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්. සුදාකරන් මහතා පෙන්වා දෙන්නේ, අදාළ තීරණය දිවයිනටම බලපාන කරුණක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි. නැගෙනහිර පළාත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් කරුණු ගණනාවක් අණාවරණ කර තිබේ. ඒ අතර වැලි බලපත් අහෝසි කිරීම සම්බන්ධයෙන් තමා වෙත ලැබුණු පැමිණිල්ලක දැක්වෙන්නේ විෂයභාර අමාත්‍යවරයා දුරකතනයෙන් දුන් උපදෙස් අනුව භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය අදාළ බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇති බවය. බලපත්‍ර ක්‍රමය තාවකාලිකව ඉවත් කිරීමෙන් වැලි ප්‍රවාහනය කරනු ලබන අමාත්‍යවරයාගේ ආධාරකරුවන් වෙත වාසි සැලසෙන ලෙස කටයුතු කර ඇති බව ද අදාළ පැමිණිල්ලේ සඳහන් බව ඔහු වැඩිදුරටත් දක්වා තිබේ. වැලි ප්‍රවාහන බලපත්‍ර පරීක්ෂා නොකිරීමට රජය ගත් තීරණයත් සමග දිවයිනේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව සීමාවක් නොමැතිව වැලි ගොඩදැමී සිදුවන අයුරු අප මීට පෙර අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නෙමු. වැලි ගොඩ දැමීමේ ව්‍යාපාරවල නිරතව සිටි ව්‍යාපාරිකයින්ට අමතර මේ වනවිට තවත් පිරිස් විශාල වශයෙන් කන්තලේ ඇල්ල පාලම අසළ සිට කින්නියා මෝය කට දක්වා වැලි ගොඩ දැමීම සිදු කරන බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. ඔහු පෙන්වා දෙන්නේ, වැලි මංකඩ 10 ක් පමණ මේ වනවිට එම ප්‍රදේශය තුළ දැකිය හැකි බවයි. මේ අතර දිස්ත්‍රික් ලේකම්වරු යටතේ ඇති ඉඩම් පරිහරණයට අදාළ 5/2001 චක්‍රලේඛනය අහෝසි කර රජයේ ඉඩම් ව්‍යාපාරිකයින්ට හා විදේශිය රටවලට ලබාදීමට දරණ උත්සයක් පිළිබඳව අද පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය ප්‍රවෘත්ති සාකච්චාවක් කැඳවමින් පෙන්වා දුන්නේ ය.   https://www.facebook.com/NewsfirstSL/videos/1006124056534186/