කිසිදු දූෂිත පොලිස් නිලධාරීයෙකුට සමාවක් නැහැ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කිසිදු දූෂිත නිලධාරියෙකුට සමාවක් නැහැ - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

by Staff writer 01-07-2020 | 6:13 PM

COLOMBO (News 1st) - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කිසිදු දූෂිත පොලිස් නිලධාරියෙකුට සමාවක් නොදෙන බව පොලීසිය අවධාරණය කරයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව කියා සිටියේ, අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා මත මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක්, පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ පිටස්තර පුද්ගලයින් දෙදෙනෙක් රඳවා තබාගෙන විමර්ශනය කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මෙම පොලිස් නිලධාරීන් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් බව කියන වෑන් රථ දෙකක්, ජීප් රථයක්, රුපියල් කෝටි 3 කට අධික මුදලක් සොයා ගෙන ඇති අතර ඔවුන් අත්පත් කරගෙන ඇති ඉඩම්, රන්භාණ්ඩ ඇතුළු වත්කම් පිළිබඳව ද මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් තුනක් විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙහිදී අනාවරණ කළේ ය.