පාතාලේ ගගනගේ ගෝලයෙක් ඇරව්වලදී STF අත්අඩංගුවට

පාතාලේ ගගනගේ ගෝලයෙක් ඇරව්වලදී STF අත්අඩංගුවට

by Staff writer 01-07-2020 | 8:56 AM
COLOMBO (News 1st) : දැනට බන්ධනාගාරගත කර සිටින පාතාල කල්ලි සාමාජික 'ගඟන' නමැත්තා සමග මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇරැව්වලදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ නිල මුද්‍රා 21ක් හා ව්‍යාජ ලෙස සකස් කළ ඉඩම් ඔප්පු ලිපි කට්ටල 5 ක් ඇතුළු උපකරණ සොයා ගත් බවයි. සැකකරු ගඟන නමැත්තාගේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින තැනැත්තෙකු බවට ද අනාවරණ වි ඇතැයි, පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. මේ අතර ඖෂධ අලෙවි සැලකින් කප්පම් ගැනීමට තැත්කළ සැකකරුවන් තිදෙනෙකු ජීව අත්බෝම්බයක් ද සමග මීගමුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31, 32 හා 42 හැවිරිදි මීගමුව හා කදිරාන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් දුරකථන ඇමතුම් ලබා දී අදාළ ඔසු සැලෙන් රුපියල් 25000 ක කප්පමක් ලබා ගැනීමට තැත්කර ඇති බව පොලීසිය පැවසී ය. ඔවුන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් ද සොයා ගෙන තිබේ. ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.