by Staff writer 01-07-2020 | 10:33 PM
COLOMBO (News 1st) - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී එක්සත් රාජධානියේ තානාපති රීටා ෆ්රෙන්ච් මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් පළ කර තිබේ.
රීටා ෆ්රෙන්ච් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, තිරසාර සාමයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග එකඟ වූ හවුල්කාරිත්වය සඳහා සමඅනුග්‍රහය දැක්වු 30 / 1 යෝජනාවට ශ්‍රී ලංකාව තවදුරටත් සහය නොදක්වන බවට තීරණය කර තිබෙන බවයි.
දේශීය යන්ත්‍රණයක් තුළින් මෙම ක්‍රියාවලියට ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට කටයුතු කරන බව පෙන්වුව ද ඊට පීඩාවට පත් ජනතාවගේ විශ්වාසය ද තිබිය යුතු බව ඇය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයට මුහුණ දුන් අකාරය පිළිබඳව සිහිපත් කළ ෆ්රෙන්ච් මහත්මිය පෙන්වා දුන්නේ කලාපීය වශයෙන් අසාදිතයින් අඩු සංඛ්‍යාවක් සහිත රටක් ලෙස වාර්තා වන බවයි.
කෙසේ නමුත් වසංගතය පාලනය කිරීමේ ක්‍රියාදාමය තුළ මානව හිමිකම් කඩකිරීමට ඉඩ නොතිබිය යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.
යුද අපරාධ චෝදනා ලද හමුදා නිලධාරීන්ට ඉහළ තනතුරු ලබාදීම සහ පොදු කටයුතු මිලිටරිකරණය කිරීම සැලකිය යුතු කරුණු බව ද ඇය පෙන්වා දී තිබේ.
තෙමසකට වැඩි කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර කිසිදු චෝදනාවක් නොමැතිව රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කටයුතු කර ඇති අකාරය පිළිබඳව ඇය සිහි පත් කළා ය.
පුද්ගලයින් රඳවා ගැනීම් සහ අත්අඩංගුවට ගැනිම් නිසි නීතිමය ක්‍රියාවලිය අනුගමනය කරමින් හා ජාත්‍යන්තර ක්‍රමවේදවලට අනුව සිදු කළයුතු බව ද ඇය පෙන්වා දුන්නාය.
මේ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි ඔහුගේ නීතිඥයා කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රතික්ෂේප කර තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා පසුගිය 17 වැනි දා එම ඉල්ලීම කර තිබුණි.