අමෙරිකාවේ දෛනික ආසාදිතයින් ලක්ෂයක් වන ලකුණු

අමෙරිකාවේ දෛනික ආසාදිතයින් ලක්ෂයක් දක්වා ඉහළ යන ලකුණු

by Staff writer 01-07-2020 | 9:13 AM
COLOMBO (News 1st) : අමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යා හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. අමෙරිකානු රජයේ බෝවන රෝග සහ ආසාත්මිකතා මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනී ෆවුසි සඳහන් කළේ, මෙම තත්ත්වය තවදුරටත් පාලනයෙන් ගිලිහුණ හොත් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණය ඉක්මවනු ඇති බවයි . මේ වනවිට දෛනිකව අමෙරිකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 40 000 ක් පමණ වේ. ලබන වසර වනවිට කොරෝනා මර්දන එන්නතක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි ද වෛද්‍ය ඇන්තනී විශ්වාසය පළ කළේ ය. අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තියේ නව කේන්ද්‍රස්ථාන ලෙස සටහන් වන්නේ කැලිෆෝනියා , ටෙක්සාස් සහ ඇරිසෝනා ප්‍රාන්තයි . කෙසේ වෙතත් මෙම අවදානම් ප්‍රදේශ වෙත පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවන බව ද වෛද්‍ය ඇන්තනී අවධාරණය කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් මුළු රටම අවදානමේ හෙළන බවයි. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 27 ඉක්මවා තිබේ. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 130 122ක් ලෙසයි . මේ වනවිට ලොව සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 105 ඉක්මවා තිබේ. ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ද 513,000 ඉක්මවා තිබේ. කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව ලක්ෂ 58 කට ආසන්නයි.