ETI තැන්පත්කරුවන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක්

ETI තැන්පත්කරුවන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක්

by Staff writer 30-06-2020 | 9:30 PM
COLOMBO (News 1st) : මූල්‍ය සමාගම් බිඳ වැටීම හා තැන්පත්කරුවන් පත්ව ඇති දුක්ඛිත තත්ත්වය ගැන අපි දිගින් දිගටම කරුණු අනාවරණය කළේ ය. ETI මෙසේ කඩා වැටුණු මූල්‍ය ආයතන අතරින් එකකි. මේ ගැන දැන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබේ. ඊට අදාළව ETI සමාගමේ ව්‍යාපාරික කටයුතු සිදුකිරීම අත්හිටුවන ලෙස නීතිපතිවරයා විසින් මෝසමක් මගින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේ නියෝගයක් ලබාදීම ශේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය. තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා කරුණු දක්වමින් ඉදිරිපත් කළ විරෝධතාවය සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී තම අධිකරණය කිසිදු නියෝගයක් නිකුත් නොකරණ බව පෙන්වා දුන්නේ ය. නීතිපතිවරයා එම ඉල්ලීම සිදු කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය දෙපාර්තුමේන්තුව විසින් ETI සමාගම සම්බන්ධයෙන් පෙර ලබා දී ඇති බරපතළ නිර්දේෂ අනාවරණය කිරීම වැළැක්වීමේ අරමුණින් බවත් නීතිපතිවරයාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යනය කිරීම වඩාත් සුදුසු බවත් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සිය විරෝධතාවය ඉදිරිපත් කළේ ය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සතු නිෂ්චල හා චංචල දේපළ හා බැංකු ගිණුම් තහනම් කර එම මුදලින් තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් කරන්නැයි ඉල්ලා ETI තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරුකීමේ ස්වාධීන සංගමය විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණ. පෙත්සම සලකා බැලීම ලබන සැප්තැම්බර් 25 වැනිදා දක්වා කල් තැබීමට අගවිනිසුරි ජයන්ත ජයසූරි ,එල්. ටී. බී. දෙහිදෙණිය හා එස්. තු‍රෙයිරාජි යන විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. කෙසේවෙතත් පෙත්සම් විභාගයෙන් අනතුරුව ශ්‍රේෂඨාධිකරණ සංකීර්ණයේ පිටතදී තැන්පත්කරුවන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.