පොලීසියේ ඉහළ පුටුවල වෙනසක්?

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්

by Staff writer 30-06-2020 | 8:09 AM

COLOMBO (News 1st) :  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා පොලිස් සුබසාධක කොට්ඨාසය වෙත ස්ථාන මාරු කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබේ.

ජාතික පොලිස් කොමිසම පැවසුවේ පුරප්පාඩු වන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී ධුරයට නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජේ. අපෝන්සු මහතා පත් කරන්නැයි නිර්දේශ කර ඇති බවයි. අදාළ නිර්දේශයන් සළකා බැලීම සඳහා අනිද්දා කොමිසමේ රැස්වීමට නියමිතයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 04 දෙනාගේ සේවය අත්හිටුවනු ලැබුවේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ සේවය අත්හිට වූ නිලධාරීන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් සිටින බවයි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකුණූ බව කියන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු නිලධාරීන් 04 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා භාර දුන්නේ ය. පොලීසිය සඳහන් කළේ, එම නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් උපකාර කළා දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.