පෝයට ටියුෂන් පන්ති නවත්වන්න ගුරුවරු එකඟ වෙයි

කාල පාරස දෙකකදී සිසුන් 500 කට ඉගැන්වීමට ටියුෂන් ගුරුවරුන්ට අවස්ථාව

by Staff writer 30-06-2020 | 7:57 AM

COLOMBO (News 1st) : කාල පාරස දෙකකදී සිසුන් 500 කට ඉගැන්වීමේ අවස්ථාව උපකාරක පන්ති ගුරුවරුන්ට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබා දී තිබේ.

ඒ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ ද උපදෙස්වලට යටත්වයි. උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටලු පිළිබඳ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය සමග ඊයේ පස්වරුවේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අනුමැතිය දී තිබේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ ශිෂ්‍යත්වයට මුහුණ දෙන සිසුන් මාස පහ හමාරකට අධික කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකි වී ඇතැයි උපකාරක ගුරුවරුන් එහිදී පෙන්වා දුන්නේ ය. මේ කරුණු සැලකිල්ලට ගෙන අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමුකරන ලෙස උපකාරක පංති ගුරුවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සමග පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සළකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. ජනාධිපතිතුමා එහිදී විභාග කොමසාරිස්වරයාට උපදෙස් දී ඇත්තේ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇතුළත් කර සිසුන්ට තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් දීමේ හැකියාව සොයා බලන ලෙසයි. දැනට 24 %ක්ව පවතින අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය සං‍ශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සළකා බැලීමට ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේ ය. උපකාරක පන්ති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදාහැරීම් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ද ජනාධිපතිවරයා සිය අනුමැතිය ලබා දී තිබේ. මෙම සාකච්ඡාවේදී ඉරිදා උදෑසන සහ පොහෝ දින උපකාරක පන්ති නොපවත්වන ලෙස බෞද්ධ උපදේශක සභාව කළ යෝජනාව ද සාකච්ඡාවට ලක් කෙරිණි. එහිදී උපකාරක පන්ති ගුරුවරුන්, පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට සිය කැමැත්ත පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහිදී වැඩිදුරටත් තීරණය වී ඇත්තේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උදේ වරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමටයි. මේ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම්දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු ව තිබේ. සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීමට බඳවා ගැනීම් සහ උසස්වීම් සම්බන්ධ ගැටලුවලට ආයතන මට්ටමින් විසඳුම් සෙවීමට ජනාධිපතිතුමා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. ඒ, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමු කිරීම කෙරෙහි ද ජනාධිපතිතුමා අවධානය යොමු කර තිබේ. ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ, පහළ තනතුරු සඳහා බඳවා ගැනීමේ දී නිපුණතාවක් නැති අඩු ආදායම්ලාභී පිරිසට අවස්ථාව හිමිවන අයුරින් ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නා ලෙසයි.