අගමැති ඉන්දියාවෙන් ඉල්ලූ ණය සහනයට මොක ද වුණේ?

අගමැති ඉන්දියාවෙන් ඉල්ලූ ණය සහනයට මොක ද වුණේ?

by Staff writer 30-06-2020 | 9:06 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වී දින කිහිපයකින් පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දීය නිල සංචාරයක නිරතවිය. ජනාධිපතිවරයාට ඉන්දීය අගමැතිවරයා උණුසුම් පිළිගැනීමක් ලබාදුන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයකදීම ආර්ථික කරුණුද සාකච්ඡාවට ලක්විය. අනතුරුව පසුගිය පෙබරවාරි මාසයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඉන්දියාවේ නිල සංචාරයක නිතරවූ අතර ණය ආපසු ගෙවීමේ සහනයක් පිළිබඳව එහිදී ඉල්ලීමක් කළේ ය. අනතුරුව අග්‍රාමාත්‍යවරයා හින්දු පුවත්පතට පවසා තිබුණේ, ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීම වසර තුනකට අත්හිටුවන්නැයි ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බවයි. මේ අතර ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී ක්ෂණික ණය පහසුකම් දෙකක් ඉල්ලා තිබේ. මේ ඉල්ලීමට ඉන්දියාව ප්‍රතිචාර දැක්වුවාද? හින්දු පුවත්පත අද වාර්තා කළේ, වත්මන් ආර්ථික අර්බුදය මධ්‍යයේ ණය ආපසු ගෙවීම කල් දමන ලෙස ශ්‍රී ලංකාව , ඉන්දියාවට කළ ඉල්ලීම සලකා බලමින් සිටින බවයි. මේ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කළත් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නැතැයි, පුවත්පත් වාර්තාවේ සඳහන් ය. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් අප මේ සම්බන්ධව විමසීමක් කළේ ය. ඔවුන් කියා සිටියේ ණය ගෙවන කාල සීමාව හා ක්ෂණික ණය පහසුකම ගැන සාකච්ඡා කළ බවයි. මෙම කරුණු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාකරමින් සිටින බව ද මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය. ඊයේ සහ අද මහකොමසාරිස් කාර්යාලයේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පවත්වා තිබේ.