හෝමාගම ගිනිඅවි:බන්ධනාගාර බසයකට පහරදීමේ සැලැස්මක්ද?

Update: හෝමාගමදී සොයාගත් ගිනි අවි: බන්ධනාගාර බස් රථයකට පහරදීමේ සැලැස්මක්දැයි සැකයක්?

by Staff writer 29-06-2020 | 7:00 PM

COLOMBO (News 1st) - හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී අද සොයාගත් ගිනි අවි තොගය බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ස්ථානගත කර තිබූ බවට සැක මතුව තිබේ.

මෙම අවි සොයා ගැනුණේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකිනි. හෝමාගම, පිටිපන හයිලෙවල් මාර්ගයට ආසන්නව මොරගහහේන මාර්ගයේ විදුලි උපකරණ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් තුළ තිබී මෙම ගිනි අවි සොයාගෙන තිබුණි. ගිනි අවි 12 ක් එහිදී සොයා ගැනුණු අතර T 56 වර්ගයේ අවි 11 සහ T 81 වර්ගයේ ගිනි අවියක් ඊට අයත්ය. එම ස්ථානයට ඉදිරිපිට යුද හමුදා පන්සල ද ඊට නුදුරින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය, යුද හමුදා ජනපදය සහ යුද හමුදා රෝහල අතුළු අධිආරක්ෂිත ස්ථාන රැසක් පිහිටා තිබේ. මේ වනවිට අනාවණය වී ඇති තොරතුරු අනුව මෙම ගිනි අවි පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක නමැත්තාගේ සමීපතමයෙකුවන ගගන නැමැත්තෙකුට අයත් බවය. ඔවුන් දෙදෙනාම බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් වේ. ගිනි අවි තොගය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 'පොට්ට කපිල' ලෙසින් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරු සහ ගගන නැමති බන්ධානාගාරගතව සිටින අපරාධකරු අතර සමීප සබඳතාවයක් පවතින බවට ද කරුණු අනාවරණය වී තිබේ. 'පොට්ට කපිල' නැමැත්තා මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලක් කොල්ලකෑම සඳහා අපරාධකරුවන් පැමිණි මෝටර් රථය ලබාදුන් පුද්ගලයා බව ද පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කළේ ය. එම මෝටර් රථය මීට මාස කිහිපයකට පෙර හමුවූයේ මෙම අවි සොයාගත් ගොඩනැගිල්ල පිහිටි මාර්ගයේ තලගල භාවනා මධ්‍යස්ථාන පාරේ පිහිටි නිවසකදීය. මෝටර් රථයේ ලියාපදිංචි හිමිකාරිය ගැබිනියකවූ බැවින් ඇයගේ සැමියා වන මඩපාතගේ කපිල කුමාර නමැත්තා එහිදී අත්අඩංගුට ගැනුණි. 'පොට්ට කපිල' ලෙස අද යළි අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පුද්ගලයාය. මාතර ස්වර්ණාභරණ කොල්ලයේ ප්‍රධාන සැකකරු කොස්ගොඩ තාරක වන අතර එහිදී පොලිස් නිලධාරියෙකු ඝාතනය විය. එම සැකකරුවන් කොල්ලයට පෙර මොරගහහේන ප්‍රදේශයේ මාස 4 ක පමණ කාලයක් නැවතී සිට ඇත්තේ ද අද අත්අඩංගුවට ගත් කපිල කුමාර නමැත්තාට අයත් නිවසකයි. කොස්ගොඩ තාරක නැමති සංවිධාත්මක අපරාධ කණ්ඩායම් නායකයා බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති අතර පසුගිය 10 වැනි දා ඔහුගේ සිරකුටියේ තිබි ජංගම දුරකතන සොයා ගැනුණි. මෙම සංවිධානාත්මක කල්ලිය සතුව තිබි නවීන අවි අයුධ හමූ වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මිනිඌෂි වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් මීට පෙර සොයා ගෙන තිබේ. අද ගිනි අවි හමු වූ වෙළෙඳ සැලේ හිමිකරු ද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.