ETI හා ද ෆිනෑන්ස් තැන්පත්කරුවන් ගැන ජනපති අවධානය..

ETI හා ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වහා සාධාරණය ඉටු කරන්න - ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

by Hashini De Mel 29-06-2020 | 10:42 PM

COLOMBO (News 1st) - අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළයුතු යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය සොයා බැලීම සඳහා අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. ආයතන දෙකෙහිම ලක්ෂ 06 ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියනට ගෙවීම් අවසන් කිරීම පළමු අදියර යටතේ සිදු කරනු ලැබේ. ආයතන දෙක සතු සියලු දේපොළ අත්පත්කරගෙන හෝ සෙසු ගනුදෙනුකරුවන්ට ද සාධාරණය ඉටුකළයුතු බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී අවධාරණය කළේ ය. මීළඟ මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක්‍රියාකරන බවට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එහිදී සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. https://www.facebook.com/NewsfirstSL/videos/916360545545600/