2011 ලෝක කුසලානය: මේ ලිපිය කුමක් ද?

2011 අවසන් තරගයේ ක්‍රීඩකයින්ගේ වෙනස්කම ගැන සඳහන් මේ ලිපිය කුමක් ද?

by Staff writer 29-06-2020 | 10:25 PM

COLOMBO (News 1st) - ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත මගින් පිහිටුවනු ලැබූ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විය.

මෙම වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ක්‍රීඩා කණ්ඩායම්වල නායක නායිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මුදලට විකිණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශයත් සමග ඒ පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් ඇති විය. ඒ අනුව ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත යටතේ පිහිට වූ විශේෂ විමර්ශන ඒකකය මගින් පසුගිය දා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවේ නාවලපිටියේ පිහිටි කාර්යාලයේදීය. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් තරගය පාවාදුන් බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එවක තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන් හෙට ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා අප කළ විමසීමකදී සඳහන් කළේ ය. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා කණ්ඩායමට එක් වූ ක්‍රීඩකයින්ට අනුමැතිය හිමි නොවූ බවට ද මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත්, අප වෙත ලැබී තිබෙන මෙම ලේඛනය අනුව පැහැදිළි වන්නේ, අවසන් තරගය සඳහා එක් වූ ක්‍රීඩකයින් දෙදෙනාට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලේකම්වරයා විසින් අනුමැතිය ලබා දී ඇති බවය. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට 2011 මාර්තු මස 30 වැනි දා යොමු කළ අදාළ ලිපිය මගින් තේරීම් කමිටු සාමාජිකයන් ගත් තීරණය පිළිබඳ දැනුම්දී තිබේ. එවක ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලේකම්වරයා අනුමැතිය ලබා දී තිබුණි. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ආබාධයන්ට ගොදුරු වූ මුත්තයියා මුරලිදරන් හා ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවට සුරාජ් රන්දීව් හා චමින්ද වාස් කණ්ඩායමට එක්වන බවයි. මීට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද ලැබූ බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබුණි. එසේම මෙම තීරණය ගෙන තිබෙන්නේ, කණ්ඩායම් කළමනාකාරීත්වය ඇතුළු එම අවස්ථාවේ රටින් බැහැරව සිටි තේරීම් කමිටු සාමාජික ශබීර් අස්ගර් අලී මහතා සමග සිදු වූ දුරකතන සංවාදයකින් අනතුරුව ගනු ලැබූ සාමූහික තීරණයකට අනුව බවත් එහි වැඩිදුරටත් සඳහන් විය. https://www.facebook.com/NewsfirstSL/videos/574226776547532/