"එකා පිට එකා මැරුවත් මේක නවත්වන්නේ නැහැ"

වරාය විකුණන්න එපා - වෘත්තීය සමිති විරෝධතාවයක

by Staff writer 29-06-2020 | 9:22 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම සංවර්ධනය කරන්නැයි බලකරමින් අදත් ඒකාබද්ධ වෘත්තීය සමිති විරෝධතාවක නිරත විය.

ඔවුන් අවධාරණය කළේ, දැනට ගෙන්වා ඇති ගැන්ට්‍රි දොඹකර වහා සවිකරන ලෙසයි. නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමේ වරාය ඒකාබද්ධ වෘත්තීය සමිතිය අද මෙලෙස පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුණේ වරාය පරිශ්‍රය තුළදීය. වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා
ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග අවශ්‍ය විදියට ගන්නවා. අපි වරාය අධිකාරිය විතරක් නෙවෙයි එස්.අයි.ජේ.සී.ටී එකෙකුටවත් අපි වැඩ කරන්න දෙන්නේ නෑ. ඒ පණිවුඩය අපි දෙනවා. ඒ හයිය අපිට තියෙනවා. අපි අපේ ආයතනය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරනවා. එකා පිට එකා මරලා දැම්මත් මේක නවත්වන්නේ නෑ.
මේ අතර වරායට අයත් වෘත්තිය සමිති 23 ක සභභාගිත්වයෙන් අද පෙරවරුවේ අත්පත්‍රිකා බෙදා දුන්නේ ය. ඒ, නැගෙනහිර පර්යන්තය ආශ්‍රිතව මේ වනවිට මතුව ඇති තත්ත්වය පිළිබඳව දැනුවත් කරමිනි. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ජී. නිරෝෂන් මහතා
මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනවා කියන කියලා රටට කිව්වා. ඡන්දේ ගත්තේ ඒකට. නමුත් ඔබතුමාල ඡන්දේ ගත්ත ඒ ප්‍රතිපත්තිය පැත්තකට විසි කරලා දාලා මෙය ඉන්දියාවට ලබාදීමට නැත්තම් ඉන්දියාවේ උවමනාවට ලබාදීමට ජාත්‍යන්තරය ඉස්සරහා දණ ගසා තිබෙන බව ඉතා පැහැදිලියි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා අදාළ ගැන්ට්‍රි දොඹකර මෙරටට ගෙන්වා අදට දින 9 කි. අ‍මෙරිකානු ඩොලර් මිලියන 25.7 ක් වැය කරමින් ගෙනා එම දොඹකර ගොඩ නොබෑම හේතුවෙන් ඉකුත් 26 වැනි දා සිට ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට කෝටියකට අධික මුදලක් ගෙවීමට සිදුවිය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
අපිට ඇතුළෙන් එන තොරතුරු අනුව මේ දොඹකර සවි කිරීම සම්බන්ධයෙන් මේක මුදල් දී මිලදී ගන්න බලාපොරොත්තු වෙන රටක් මේ දොඹකර සවි කිරීමට විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක රටට විශාල පාඩුවක් අපි අහන්න කැමතියි රජයේ ස්ථාවරය
පොදුජන පෙරමුණේ අපේක්ෂක විමල් වීරවංශ මහතා
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කාටත් හොරෙන් ඒක එම්.ඕ.යූ එකක් නෙවෙයි. එම්.ඕ.සී එකක්. එම්.ඕ.සී එකක් අත්සන් කරා. ජපානය සහ ඉන්දියාව ඇතුළු ඒ කණ්ඩායම් කීපයක් එක්ක. ඒ ගිවිසුම් අත්සන් කරේ රටේ මහජන මතයට ඇහුම්කන් දීලා නෙවෙයි. ජනාධිපතිවරයා ඔහු පත් කරපු එවලේ හිටපු ජනාධිපතිවරයා, ඔහු පත් කරපු ආර්ථික උපදේශක සභාව, ඒ සම්පත සම්බන්ධයෙන් මේ විදිහේ ගිවිසුමකට එලැඹීම ඉතාම අහිතකරයි කියලා. ඉදිරිපත් කරපු නිරීක්ෂණ පවා නොසලකා හැරලා තමයි එදා හිටපු වරාය ඇමතිලා මේ නැගෙනිහිර පර්යනත්ය බිලි දෙන්න ඒ එම්.ඕ.යූ නෙවෙයි එම්.ඕ.සී කියන ගිවිසුමට ගියේ. එතකොට මේ එම්.ඕ.සීවලින් එළියට එන්න ඕනේ. ඒවායින් එළියට එන්න නම් පාර්ලිමේන්තුවේ සුවිශේෂි බලයක් ඕනේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා
කිසිසේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙයි ආණ්ඩුවක් යටතේ රාජ්‍ය දේපළ විකුණන්නේ නෑ. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කලේ අපි නෙවෙයි. දැන් ගිවිසුම අත්සන් කරපු අය අපිට චෝදනා කරනවා අපි විකුණන්න හදනවා කියලා. අපි විකුණන්නේ නෑ.
https://www.facebook.com/NewsfirstSL/videos/554758568536876/