ඉඟිනිමිටියේ ඇතාට වෙඩි තැබුවේ කවු ද?

පශ්චාත් මරණ පරීක්ෂණය අවසන්: ඉඟිනිමිටියේ ඇතාට වෙඩි තැබුවේ කවුද?

by Staff writer 29-06-2020 | 10:13 PM

? අතරමං වූ අලි පැටවෙක් එප්පාවලින්..

COLOMBO (News 1st) - අඹන්පොළ, මහ දිවුල්වැව, ඉඟිනිමිටිය ජලාශය ආසන්නයේ වෙඩි වැදි මියගොස් සිටි ඇතාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරිණි.

ඊයේ උදෑසන ඉඟිනිමිටිය ජලාශය ආසන්නයේ මෙම ඇතා වැටී සිටින බවට ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව මහව වනජීවි කාර්යාලයේ නිලධාරීන් පැමිණෙන විටත් ඇතා මිය ගොස් තිබුණි. වයඹ කලාපය භාර වනජීවි පශු වෛද්‍ය ඉසුරු කෝට්ටගේ මහතා අද දිනයේදී සිදු කළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණේ, දින 4කට හෝ 5 කට පෙර උස් ස්ථානයක සිට තැබූ වෙඩි පහරක් ඇතාගේ ගෙල ප්‍රදේශය පසාරු කරගෙන මොළය දක්වා ගමන් කර ඇති බවය. එහිදී ඇතාගේ මොළයට හානි සිදු වී ඇති අතර වෙඩි තැබීමට යොදා ගන්නා අවිය ස්වයංක්‍රීය ගිනි අවියක් බවට සැක කෙරේ. අප වාර්තාකරු පැවසුවේ, වයස අවුරුදු 40 ක පමණ වන මෙම ඇතාගේ දළ යුගල අඟල් 18 කට වඩා වැඩි දිගකින් යුතු බවය. පසුගියදා ගල්ගමුව බිම් පොකුණ විහාරස්ථානයේ අඹ ගසින්, අඹ කෑමට පැමිණ සිටියේ මෙම ඇතා බවට ද මේ වනවිට සැක මතුව තිබේ. මේ අතර එප්පාවල, නල්ලමුදාව ප්‍රදේශයේදී අතරමංව සිටි අලි පැටවෙකු හමුව තිබේ. එප්පාවල ජයගග බීට්ටු නිලධාරීන්ට මෙම අලි පැටවා හමුව තිබූ අතර ඉන් අනතුරුව ඒ පිළිබඳව වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබුණි. වනජීවි නිලධාරීන් පැවසුවේ, මෙම අලි පැටවාගේ වයස අවුරුදු එක හමාරක් පමණ වන බවයි. අනතුරුව අලි පැටවාගේ රංචුව සෙවීමට මහත් පරිශ්‍රමයක් දැරුවත් එය සාර්ථක වී තිබුණේ නැත. අපි පැටවා මේ වනවිට පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයට භාර දී තිබේ. අලි පැටවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර හෙට දිනයේදී උඩවලව ඇත් අතුරු සෙවනට භාරදීමට නියමිතය.   https://www.facebook.com/NewsfirstSL/videos/1759993964140898/