ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා පෙළ ගැසිය යුතුයි - අගමැති

by Staff writer 28-06-2020 | 2:38 PM

? තොණ්ඩමන්ගේ මළගෙදර දුරස්ථභාවය රැකුණාද?: 2011 ලෝක කුසලාන පාවා දුන්නාද?, මේවා දේශපාලන කාරණා නෙමෙයි ? යහපාලන ආණ්ඩුව හිටියනම් පුළුවන්ද Covid-19 මේ විදිහට පාලනය කරන්න ? ලාංකීය දේශපාලනයට විදෙස් අත පෙවීම් සිදුවීම ආරම්භ වූයේ 2009 යුද්ධය අවසන් වීමෙන් පසුවයි ? සිල්ලර කාරණා මත ඡන්ද දෙන්න ගියහොත් රටත්, ජාතියත් විනාශයි

  COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා පෙළ ගැසිය යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අවධාරණය කළේය. අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ, විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්ය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ ලාංකීය දේශපාලනයට විදෙස් අත පෙවීම් සිදුවීම ආරම්භ වූයේ 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව බවය. එතැන් පටන් මේ වනතෙක්ම මෙරට දේශපාලනයට විදේශීය අත පෙවීම් පවතින බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. යුද අපරාධ සමයේ මානව හිමිකම් උල්ලංඝණය කළාය යන්න විදේශයන්හිවලින් චෝදනා පැමිණීමේ අරමුණ වූයේ හුදෙක්ම ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ජීව ගුණය අකර්මණ්‍ය කිරීමට බව ද මෙහිදී අගමැතිවරයා සඳහන් කළ තවත් කරුණකි. ඒ අනුව අගමැතිවරයා සඳහන් කළේ , අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත මගින් සැබවින්ම සිදු වූයේ අතුරුදහන් වූවන් පිළිබඳව සෙවීම නොව ලංකාවේ හමුදා සාමාජිකයින්ට දඬුවම් කිරීම බව ය. අරුමුගම් තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයේදී සමාජ දුරස්ථභාවය පිළිබඳ ගැටලුව හෝ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ, තරග පාවාදීම දේශපාලන වශයෙන් වැදගත් කාරණා නොවන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. වත්මන් ජනපති සමයේ ලංකාවේ සිදු වූ විශාලතම ගැටලුව වූ Covid-19 පාලනය අතින් අපි ඉදිරියෙන් සිටින් බව ය. නමුත් පසුගිය යහපාලන ආණ්ඩුව තිබුණේනම් Covid-19 මෙසේ සාර්ථකව ඔවුන්ට පාලනය කළ හැකිද යන්න පිළිබඳවත් අගමැතිවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය. පොඩි පොඩි සිල්ලර කාරණා මත ඡන්ද දෙන්න ගියහොත් රටත්, ජාතියත්, ආගමත්, සංස්කෘතියත්, මතු අනාගතයත් සියල්ලම විනාශ වෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම කියවීමට පිවිසෙන්න