මෛත්‍රීපාල සිරිසේනගෙන් හෙළිදරව්වක්

ලෝක මුස්ලිම් ලීගය මෙරටට දුන් බව කියන මුදල පිළිබඳ අසත්‍ය ප්‍රවෘත්තිය ගැන මෛත්‍රීගෙන් හෙළිදරව්වක්

by Staff writer 28-06-2020 | 10:47 PM

COLOMBO (News 1st) – ලෝක මුස්ලිම් ලීගය නැමැති සංවිධානය මෙරටට ලබා දුන් බව කියන අමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් පිළිබඳ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ‍

මෙම නිවේදනයේ දැක්වෙන්නේ ලෝක මුස්ලිම් ලීගය නැමැති සංවිධානය 2019 වසරේ ජුනි 30 වැනිදා මෙරටදී සමුළුවක් පවත්වා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ට ලබාදීම පිණිස අමෙරිකානු ඩොලර් මිලියන පහක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇතැයි ප්‍රකාශ නිකුත් කරන ලද බවයි. එම මුදල් විපතට පත් ජනතාවට ලබා නොදුන්නේ යැයි ප්‍රකාශ කෙරුණු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එහෙත් ප්‍රධාන කරුණු 7 කට නිසි පරිදි තවමත් තොරතුරු ලබා නොදීම නිසා එම මුදල් මේ වනතෙක් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනයේ සඳහන් ය. එවක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල් කරීම් අල් ඊසා මහතා මේ බව ලිපියකින් දන්වා ඇති බවද මේ නිවේදනයේ දැක් වේ. ඒ අනුව පසුගිය දිනවල පල කෙරුණු අසත්‍ය වාර්තා කණගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.