ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි

by Staff writer 28-06-2020 | 8:07 AM

News 1st - ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබේ.

ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ද ලක්ෂ පහ ඉක්මවා ඇතැයි සඳහන්ය. ලොව කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව ද පනස් පන් ලක්ෂයකට ආසන්න වේ. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ඉන්දියාව සහ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමකදීය. මේ හමුවේ ඉන්දියාව දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටි. දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් සඳහන් කළේ, වෛරස් ව්‍යාප්තියේ සීඝ්‍රතාවය ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතියට දැඩි අභියෝග එල්ල කර ඇති බවයි. මේ මාසයේ නවදිල්ලි අගනුවර කොරෝනා ආසාදිතයන් ඉහළයාම එරට කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළයාමට මෙන්ම රෝහල්වල ඉඩ කඩ නොමැතිවීමට හේතුවූ බව ද ඔහු සඳහන් කළේ ය. මේ වනවිට ඉන්දියාවේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමට පත්ව ඇත්තේ ද දිල්ලියයි. දිල්ලියේ ආසාදිතයන් සංඛ්‍යාව 80,000 ඉක්මවා ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 2558 කි. මේ හමුවේ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ කඩිනම් කිරීමට දිල්ලි බලධාරීන් පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, අර්බුදයට මුහුණ පෑ ලොව සෙසු රටවල්වලට සාපේක්ෂව ඉන්දියාව යහපත් ස්ථානයක සිටින බවය. ඉන්දියාවේ කොරෝනා ආසාදනයෙන් සුවය ලැබුවන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. වෛරස් ව්‍යාප්තිය ඉහළයාම හමුවේ සෑම ඉරිදාවකම කරණාටක ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ලබන මස 5 වැනි දා සිට මෙය ක්‍රියාත්මකවීමට නියමිතය. මේ වනවිට කර්ණාටක ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයන් 11,923 දෙනෙකු වාර්තා වන අතර ප්‍රාන්තයේ වෛරස් ආසාදනයෙන් මියගොස් ඇති සංඛ්‍යාව 191 කි. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ තිස්දහසකට ආසන්න වන අතර එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 16000 ඉක්මවා ඇත. මේ අතර ප්‍රාන්ත කිහිපයක වෛරස් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ අමෙරිකාව ද දැඩි අර්බුධයකට මුහුණ පා සිටි. එලෙස වෛරස් ව්‍යාප්තිය ඉහළගොස් ඇත්තේ ෆ්ලොරීඩා, නෙවාඩා, දකුණු කැරොලිනා, ජෝර්ජියා සහ ඇරිසෝනා යන ප්‍රාන්තවලය. මේ වනවිට අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 26 කට ආසන්න වේ. එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ විසිඅට දහස ඉක්මවා ඇතැයි සඳහන් විය.