මහවැලි F කාබනික කෘෂිකර්මික නිෂ්පාදන කලාපයක් කෙරේ

මොරගහකන්ද, මහවැලි F: කාබනික කෘෂිකර්මික නිෂ්පාදන කලාපයක් ලෙස නම් කෙරේ

by Staff writer 28-06-2020 | 9:40 AM

COLOMBO (News 1st) - මොරගහකන්ද, කළු ගඟ මහවැලි F කලාපය කාබනික කෘෂිකර්ම නිෂ්පාදන සිදු කරන තිරසර සංවර්ධන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ,අති විශේෂ ගැසට් නිවේදනයකින් ය. මෙම තීරණයට අනුව අදාළ කලාපය තුළ කෘෂි රසායනික කෘමිනාශකවලින් තොර කාබනික එළවළු , පළතුරු හා අතිරේක බෝග වගාව ප්‍රවර්ධනය කෙරෙනු ඇති. ඊට අමතරව ගල්වැටි, ජෛව වැටි පාංශු සංරක්ෂණ ක්‍රම භාවිත කර තිරසර පාංශු භාවිතය තහවුරු කෙරේ. වාරි ජලය සංරක්ෂණය කිරීම හා ජලය කාර්යක්ෂම ලෙස භාවිත කිරීම සඳහා ජල සංරක්ෂණ ක්‍රම ප්‍රවර්ධනයේද මේ යටතේ සිදුවනු ඇති. බෝග වගාව හා ඒකාබද්ධව කුකුළු පාලනය, එළු හා කිරි ගව පාලනය මෙන්ම තෘණ වගාව ඇතුළත් සමෝධාන ගොවිපළ ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට ද නියමිත ය. බෝග වගාවට අවශ්‍ය කාබනික පොහොර එම කලාපය තුළ ම නිෂ්පාදනය කිරීම ද තවත් සැලසුමකි. එතෙක් කාබනික පොහොර සපයන්නේ රජයෙන් ය. එම කලාපයේ කාබනික නිපැයුම් සහතික කර සෘජු නිෂ්පාදන හා අගය එකතු කළ නිෂ්පාදන ලෙස දෙස් විදෙස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරෙනු ඇති. එම නිෂ්පාදන මහවැලි නකල්ස් කාබනික නිෂ්පාදන සන්නාමයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඌන භාවිත පලතුරු බෝග ප්‍රවර්ධනය තුළින් එම බෝග සංරක්ෂණය කිරීම මෙන්ම මී මැසි පාලනය සිදු කිරීමට ද නියමිත අතර එම කලාපය තුළ පලිබෝධනාශක කෘමිනාශක සහ වල්නාශක අලෙවිසැල් පවත්වාගෙන යාමට අවසර හිමිවන්නේ නැත. එය කෘෂි සංචාරක කලාපයක් ලෙස සංවර්ධන කෙරෙන්නේ වගාව පිළිබඳ අධ්‍යාපන දැනුම ද ලබාගත හැකි ආකාරයෙන් ය. එහි වාරි ජලය විශේෂ අනුමැතියකින් තොරව කිසිදු කාර්මික කටයුත්තක් සඳහා ලබා නොදෙන බව ද සඳහන් ය. අදාළ ගොවි සංවිධාන සඳහා අවශ්‍ය කෘෂිකාර්මික උපදෙස් සහ නිර්දේශ ලබාදීමට මහවැලි අධිකාරියෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායෙන් කළමනාකරණ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස් කිරීමට ද නියමිත ය.