ඡන්ද පත්‍රිකා මුද්‍රණය අදින් අවසන්...

තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 30 වැනි දා

by Staff writer 28-06-2020 | 7:36 AM

COLOMBO (News 1st) - තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 30 වැනි දා සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, ඒවා ලබන 01 වැනි දා හා 02 වැනි දා යන දිනවල තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හරින බවය. තව ද නිදහස් තැපැල් පහසුකම යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන සෑම දේශපාලන පක්ෂයකටම හා ස්වාධීන කණ්ඩායමකටම තම ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ දැනුවත් කිරීමේ ලියවිල්ලක් ඡන්ද දායකයින්ට යැවීමට පහසුකම් සලසා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ ය. තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ, දිස්ත්‍රික් මට්ටමින් ඒවා තැපැල් කාර්යාලවලට භාරදිය හැකි බවයි. ඒ සඳහා දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ බලයලත් නියෝජිතයෙකු විසින් එම පත්‍රිකා විනිවිද නොපෙනෙන කවරයක බහා ඒවා තැපෑලට භාරදිය යුතු වේ. කෙසේ වෙතත් මේ යටතේ එම පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායමට නිදහස් තැපෑල භාවිත කළ හැකි වන්නේ එක් වරක් පමණක් බව ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අදින් අවසන් කරන බව රජයේ මුද්‍රණාලය පවසයි. රජයේ මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ, මේ වනවිට මුද්‍රණය අවසන් වූ දිස්ත්‍රික්ක 18 ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදී ඇති බවය. සෙසු දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා ද අද දිනයේ මුද්‍රණය අවසන් වූ විට මැතිවරණ කොමිසම වෙත කඩිනමින් භාර දෙන බව ඇය පැවසුවාය. මෙවර මහ මැතිවරණය සඳහා මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්නනවේ. රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ, එක් එක් දිස්ත්‍රික්කය සඳහා ඡන්ද පත්‍රිකාවේ දිග සහ පළල වෙනස් බවයි. මේ අතර ගෘහ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය ද අදින් අවසන් කරන බව රජයේ මුද්‍රණාලය සඳහන් කළේ ය.