Mask එක නොදැම්මොත් දින 14ක් ස්වයං නිරෝධායනයට

Mask එක නොදැම්මොත් දින 14ක් ස්වයං නිරෝධායනයට

by Staff writer 27-06-2020 | 6:51 PM

COLOMBO (News 1st) : UPDATE :  මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, හෙට සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවය.
රජය විසින් පනවපු සෞඛ්‍ය උපදෙස් හා නීතිරීති සමහර පිරිස් විසින් ඉතාමත්ව ඉක්මනින් අමතක කරපු බවක් පෙනී ගිහින් තියනවා. ඊයේ දවසේදී බස්නාහිර පළාත තුළ පමණක් පුද්ගලයින් 19,665 ක් පරීක්ෂා කිරීමේදී පුද්ගලයින් 6725 ක් පමණ පිරිසක් මුඛ ආවරණ පැළඳ නොසිටි බව අනාවරණය වෙලා තියෙනවා. ඒ පුද්ගලයින්ට දැඩි ලෙස අවවාද කරලා මුදා හැරලා තියනවා. නමුත් මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීම නිසා ‍හෙට සිට බස්නාහිර පළාත තුළ පමණක් නොවේ සියලුම පොලිස්ථානවලට පොලිස්පති තුමා උපදෙස් දීලා තියනවා. මේ මුඛ ආවරණ නොපළදින ඒ වගේම වෛරසය අසාදනය වීම සදහා හේතු විට හැකි විදියට එම නිරෝධායන පනත උල්ලංඝණය කරන අයවලුන් සම්බන්ධව හෙට සිට නැවත මෙහෙයුම ආරම්භ කරනවා. එසේ නිරෝධායන පනතේ විධි විධාන උල්ලංඝණය කරන අයවලුන් ස්වයං නිරෝධායනය සඳහා දින 14 ට යොමු කරනවා. ඒක මග හරින්න කිසි කෙනෙකුට බෑ. මොකද ඒ අයගේ නිවෙස් හඳුනාගෙන ඒ දැන්වීම් ආදිය අලවලා ඒ අය නිරෝධායනය කරන්න ගත්තට පස්සේ ස්ථීර වශයෙන්ම තමන්ගේ දෛනික කටයුතුවලින් දින 14 ක් ඉවත් වෙලා සිටින්න සිදු වෙනවා. සෑම දෙනෙකුටම නැවත වතාවක් දැනුම් දෙන්න කැමතියි රජය විසින් ඒ ලබා දීලා තියන සෞඛ්‍ය උපදෙස් මුඛ ආවරණ පැළදීම ඇතුළු අනෙකුත් උපදෙස් නිසි පරිදි අනුගමනය කරලා අසීරුතාවයෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා.
මේ අතර අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍ය‍ෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ද මුඛ ආවරණ පැළදවීම පිළිබදව අදහස් පළ කළේ ය. මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය -  
මෝටර් රථවල ගමන් කරද්දී මුඛ ආවරණ පැළදිය යුතුද?
පිළිතුර - පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍ය‍ෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා
එහෙම අවශ්‍යතාවයක් නෑ. මොටර් රථය තුළ සිටියදී. නමුත් ඒ රථයේ ගමන් කරලා යම් කිසි ස්ථානයක බහිනවා නම් ඒ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා මුඛ ආවරණය පැළඳගෙන ප්‍රසිද්ධ ස්ථානයට ගමන් කරයි කියලා.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය -
යතුරුපැදිවල ගමන් කරද්දි මුඛ ආවරණ පැළදිය යුතුද?
පිළිතුර - පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍ය‍ෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා
විවෘත ප්‍රදේශයක මෝටර සයිකලයක් පැදගෙන ගියාම ඒ විවෘත ප්‍රදේශයේ වෙන කවුරුත් නැත්නම් ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ විවෘත ප්‍රදේශයේ වෙන අය ගැටෙනවා. වෙන අයත් එක්ක ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා මුඛ ආවරණ පැළඳ යා යුතු වෙනවා.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය -
මේ තත්ත්වය තුළ මැතිවරණ රැස්වීම් පවත්වන්නේ කෙසේද?
පිළිතුර -
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍ය‍ෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැතිවරණ රැස්වීම්වලට මාර්ගෝපදේශ ගණනාවක් නිකුත් කරලා තියනවා. ඒ අනුව එක් රැස්වීමකට උපරිම සහභාගි වෙන්න පුලුවන් 100 කට පමණයි. ඒ 100 සහභාගී විය යුත්තේත් රැස්වීම පැවැත්වෙන ස්ථානයේ තිබෙන වාතාවරණය අනුව ඉඩ ප්‍රමාණය අනුව. එහෙම නැත්නම් ඊට වඩා අඩු වෙන්න පුලුවන්. ඒ සියලුම දෙනා ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. මේ අතර කවර අවස්ථාවක හෝ කොරෝනා වෛරසය සමාජය තුළ ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසයි. මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය -
දැන් මේ වෛරසයේ වෙනසක් තියනවාද මොකක්හරි ?
පිළිතුර - විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා
වෛරසය සැරෙන් සැරේට තමන්ගේ අනුක ස්වභාවය ජානමය ස්වභාවය වෙනස් කරගන්නවා. මේ වෛරසය තාම විශාල වශයෙන් තමන්ගේ ස්වභාවය වෙනස් කරගෙන නෑ. නමුත් වෛරසයන්ගේ ප්‍රමාණය ආසාදිතයන් වැඩිකරගෙන ඔවුන්ගේ පැවැත්ම ගෙන යනවා. අපි සෑම විටම අඩියක් හරි ඉස්සරහින් තියන්න බලන්නේ.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය -
වෛද්‍යතුමනි හැබැයි මේ දවස්වල වැඩිය කොරෝනා ආසාදිතයන් වාර්තා වෙන්නේ නැහැනේ.
පිළිතුර - විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා
සමාජයෙන් රෝගීන් වාර්තා නොවුණ පළියටම කියන්න බෑ සමාජයේ සම්පූර්ණයෙන්ම රෝගය නැති බවට. නමුත් කොයිම මොහොතක හරි මේක සමජයට නැවත ඇවිල්ලා පැතිරීයාමේ අවදානමක් තියනවා. ගෝලීය වශයෙන් මේක තාම ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපි නිරන්තරයෙන් අවධියෙන් සහ අවදානයෙන් සිටිය යුතුයි.
  ============================================== මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව පොලීසිය පවසයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, හෙට සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, නිරෝධායන නීති අඛණ්ඩ ක්‍රියාත්මක කරන ලෙසයි.