පළාත් සභා ක්‍රමය පිළිබඳ ස්ථාවරය අනාවරණය කරන්න - මිලින්ද මොරගොඩ පක්ෂවලින් ඉල්ලයි

by Staff writer 27-06-2020 | 10:43 PM

COLOMBO (News 1st) : පළාත් සභා ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂවල ස්ථාවරය මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පළ කරන ලෙස පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා සියලු පක්ෂවලින් ඉල්ලා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මිලින්ද මොරගොඩ මහතා පවසන්නේ 13 වැනි සංශෝධනය අහෝසි කිරීම තුළින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව සලකා බලන ලෙස සියලු පක්ෂයන්ගෙන් ඉල්ලා තිබේ. පළාත් සභා අහෝසි කර පුරවැසියාට සමීප ප්‍රාදේශීය සභා , නගර සභා හා මහ නගර සභා ප්‍රති සංවිධානය කර ඍජුවම බලය බෙදා හැරිය යුතු බව ඔහුගේ අදහසයි. 13 වැනි සංශෝධනයේ අභිප්‍රාය වූයේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා පළාත්වල ස්වයං පාලනයක් ඇති කිරීම වුවත් එය වියදම් අධික, අකාර්යයක්ෂම ක්‍රමයක් යැයි මේ වනවිට ඔප්පු වී ඇති බව ද මොරොගොඩ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පළාත් සභා ක්‍රමය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 250 කට අධික මුදලක් වැය වන බවයි. එම අක්‍රීය යාන්ත්‍රණය අහෝසි කිරීමෙන් සැලකිය යුතු ඉතිරියක් සහ වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවයක් ලබා ගත හැකි බව ද මිලින්ද මොරගොඩ මහතා සඳහන් කර තිබේ.