අගමැතිගෙන් විශේෂ ඉල්ලීමක්

ණය සහන ලබා දීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රමුඛතාවය දෙන්න - අගමැති

by Staff writer 27-06-2020 | 9:56 PM

COLOMBO (News 1st) : ණය සහන ලබාදීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන වලින් ඉල්ලා තිබේ.

ඒ, ඊයේ අරලියග මන්දිරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ යුනිසෙෆ්හි නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී ය. විශ්වීය ළමා ප්‍රතිලාභ තුළින් ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවදානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. ළමුන්, වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් ඇතුළත් වන වඩාත් අවදානමට ලක්විය හැකි අංශවලට ප්‍රමුඛතාව දීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමේ අවධානය යොමු කර තිබේ. රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙම ගැටලු විසඳීම සඳහා සියලුම සංවර්ධනය වෙමින් පවතින රටවලට ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවල සහාය අවශ්‍ය වනු ඇති බවයි. වර්තමානයේ ලෝකයේ පවතින මේ අර්බුදය සෑම ජාතියකම ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කර තිබෙන බැවින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි රටවල්වලට ප්‍රමුඛතාව දිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා වත්මන් රජයේ ක්‍රියා කලාපය එක්සත් ජාතීන්ගේ මෙරට සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මියගේ පැසසුමට ද ලක් වූ බව නිවේදනයේ සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/285164092846794/