කරුණා අම්මාන්ට නඩු පැවරිය යුතුයි

කරුණා අම්මාන්ට යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරිය යුතුයි - ජ්‍ය‍ෙෂ්ඨ නීති උපදේශක අනුර මැද්දේගොඩ

by Staff writer 27-06-2020 | 6:59 PM

COLOMBO (News 1st) : එල්.ටී.ටී.ඊ. කැරලිකාර නායකයෙකු වූ කරුණා අම්මාන්ට යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බව ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ හිටපු ජ්‍ය‍ෙෂ්ඨ නීති උපදේශක අනුර මැද්දේගොඩ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඩේලිමිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ය. හිටපු එල්.ටී.ටී.ඊ. සන්නද්ධ කැරලිකාර නායකයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වහාම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවට පැමිණිලි කළ යුතු බව අනුර මැද්දේගොඩ මහතා අවධාරණය කළේ ය. ඩේලිමිරර් පුවත්පතට වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ට යුද අපරාධ සහ දරුණු ගණයේ සමූල මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් එල්ල වී ඇති අතර මේ සෑම චෝදනාවක්ම මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාමාර්ග බවය. කරුණා අම්මාන් විසින් අම්පාරේදී සිදු කළ ප්‍රකාශයේදී මෙරට රජයේ හමුදාවේ විශාල පිරිසක් ඝාතනය කළ බව පවසයි නම් වහාම අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් වත්මන් බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ හිටපු ජ්‍ය‍ෙෂ්ඨ නීති උපදේශක අනුර මැද්දේගොඩ මහතා පවසයි. යුද්ධයකදී සිදුවන අතිරේක හානිය අපරාධයක් නොවන නමුත් ඔහු විසින් අහිංසක භික්ෂූන් වහන්සේලා ඝාතනය කළ බව නම් එය සිතාමතා සිදු කළ මීනීමැරුමක් බව අනුර මැදගොඩ මහතා පෙන්වා දෙන්නේය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවට පැමිණිලි කළ හැකි බව ද අනුර මැද්දේගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් මෙරට රජය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි තමන් අවදානයෙන් පසුවන බවය.   https://www.facebook.com/NewsfirstSL/videos/316548379362600/