by Staff writer 26-06-2020 | 7:53 PM
COLOMBO (News 1st) - රුපියල් මිලියන 122 ක් වටිනා බීඩි කොළ කන්ටේනර් දෙකක් නීති විරෝධීව මෙරටට ගෙන්වීම පිළිබඳ විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලා තිබේ.
ඒ මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සදහායි.
මෙම බීඩිකොළ තොගය චෙන්නායි සිට මෙරටට එවා තිබුණේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්ත ශාලාවකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන මුවාවෙනි.
ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය මගින් ඊයේ (25) කන්ටේනර් දෙකක් පරීක්ෂා කිරීමෙන් පසු මෙම බීඩිකොළ තොගය සොයාගනු ලැබුවේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු රේගුව විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු බැඳුම්කරයක් මත මුදා හැර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
රේගුව පැවසුවේ, මෙම බීඩි කොළ තොගය නීත්‍යානුකූල අයුරින් මෙරටට ආනයනය කළේ නම් රුපියල් මිලියන 100 වැඩි බද්දක් ගෙවීමට සිදුවන බවයි.
2020 මාර්තු 14 වැනිදා ඉන්දියාවේ සිට කේප් මෙමෝ නැමති නෞකාවෙන් මේවා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති අතර එම බීඩිකොළ තොගයේ බර කිලෝග්‍රැම් 24,000 කි.
අදාළ කන්ටේනර් ගෙන් වූ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටි සමාගමේ නියෝජිතයෙකුගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත් බවද රේගුව සඳහන් කළේය.
රේගු බලධාරීන් පැවසුවේ CCTV දත්ත ලබා ගනිමින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.