රංගජීව සහ එමිල් රන්ජන්ට මහාධිකරණයෙන් දැඩි අවවාද

ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බවට රංගජීවට සහ එමිල් රන්ජන්ට අධිකරණයෙන් දැඩි අවවාද

by Staff writer 26-06-2020 | 4:01 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාර නඩුවේ පළමු හා දෙවන විත්තිකාර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමහේවාගේ ඇප අවලංගු කර රක්ෂත බන්ධනාගාරගත කරන බවට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දැඩි ලෙස අවවාද කර තිබේ.

ඒ, මෙම විත්තිකරුවන් දෙදෙනා දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණිමෙන් අනතුරුව නඩුකරයට හා පැමිණිල්ලට අහිතකර අන්දමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කරන බවට නීතිපතිවරයා කළ දැනුම් දීමක් සළකා බලමිනි. අධිකරණය හමුවේ නඩුකරයක් පවතින විටදී විත්තියට කටයුතු කළ හැකි නීතිමය සීමාවක් පවතින බවත් විත්තිකරුවන් නීතියේ සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් තම අධිකරණයට ඒ සම්බන්ධයනේ සුදුසු පියවරක් ගැනීමට සිදුවන බවත්, විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට පෙන්වා දුන්නේ ය. නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 01 වැනි දා දක්වා කල් තැබුණි. ගිහාන් කුළතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබුවේ ය.