අකුණු අනතුරුවලින් ඉන්දියාවේ 100ක් ජීවිතක්ෂයට

අකුණු අනතුරුවලින් ඉන්දියාවේ 100ක් ජීවිතක්ෂයට

by Staff writer 26-06-2020 | 11:09 AM
COLOMBO (News 1st) : අකුණු අනතුරු හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මිය ගිය පිරිස 100 ඉක්මවා තිබේ. බිහාර් ප්‍රාන්තයට බලපෑ මහ වැසි සමග ඇතිවූ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 83 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 22ක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. උත්තර් ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා පවසන්නේ එහි අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මේ අතර තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවට බිහාර් හි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. වැසි සහ අකුණු හේතුවෙන් ප්‍රාන්ත වැසියන්ගේ නිවාස හා දේපළවලට ද හානි සිදුව තිබේ. විපතට පත්වූවන්ට කඩිනමින් සහන සලසන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපදෙස් ලබා දී ඇති අතර අකුණු සැර වැදීමෙන් මිය ගිය අයගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 4 ක වන්දියක් ලබාදීමට පියවර ගන්නා බව බිහාර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නිතීෂ් කුමාර් ප්‍රකාශ කළේ ය. ඉන්දීය අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දිස්ත්‍රික්ක 23 කට පමණ අයහපත් කාලගුණයේ බලපෑම් එල්ල වී ඇති බවයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ජූලි 31 වැනිදා දක්වා බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල සිදු වූ අකුණු අනතුරු හේතුවෙන් 394 දෙනෙකු මරණයට පත්ව තිබේ.