ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් නව පුරෝකථනයක්

Covid-19 හමුවේ ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නව පුරෝකථනයක්

by Staff writer 25-06-2020 | 11:12 AM

COLOMBO (News 1st) –Covid-19 වසංගත තත්ත්වය හමුවේ ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නව පුරෝකථන ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එම ආයතනය පවසන්නේ පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ගෝලීය ආර්ථික පසුබෑමේ මට්ටම 5% කින් වැඩිවනු ඇති බවයි. Covid-19 වසංගත තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ නවතම පුරෝකථනවලට අනුව බ්‍රිතාන්‍යයේ ආර්ථික පසුබැස්ම 10% ක් වනු ඇතැයි අනුමාන කර තිබේ. කෙසේ නමුත් එය Covid-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤයට වඩා අඩු අගයක් ගනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. අමෙරිකාවේ ආර්ථික පසුබෑම 8% ක් පමණ විය හැකි බව අපේක්ෂා කරන අතර එය 2021 වසරේදී අර්ධ ලෙස යථා තත්ත්වයට පත්වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ලොව කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 95 ඉක්මවා තිබේ. මියගිය පිරිස හාර ලක්ෂ අසූ තුන් දහසකට අධික අතර සුවය ලැබූ පිරිස පනස් එක් ලක්ෂයකට අධික ය. ගෝලීය වශයෙන් Covid-19  ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අමෙරිකාවෙන් සොය ගත හැකි අත‍ර එම සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමෙරිකා එක්සත් ජනපදයේ කලාපීය අධ්‍යක්ෂක කැරිසා එටියන් පැවසුවේ ය. මධ්‍යම සහ දකුණු අමෙරිකාවේ වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වනබවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ අතර පවතින තත්ත්වය හමුවේ අමෙරිකානුවන්ට යුරෝපා කලාපයේ සංචාරය කිරීමේ අවස්ථාව අහිමිවීමේ ඉඩකඩ ඇති බවට විදෙස් වාර්තාවල සඳහන් ය. කෙසේ නමුත් අමෙරිකාව යුරෝපා සංචාරක ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබඳව යුරෝපා සංගමය තවමත් අවසන් තීරණයකට පැමිණ නැහැ.