.webp)
''MCC ක්‍රියාත්මක කළ හොන්ඩියුරාස්, මැඩගස්කරය රටවල ඉඩම් ටික විදේශිකයින් ඩැහැ ගෙන තියෙනවා''
''අත්සන් කළාට පස්සේ, අතරමග නවත්තනවා... ප්‍රදානය නවත්තනවා එහෙම වුණාට අයෝජන රැකීමට රට තුළ ඉන්නවා''
''කොන්දේසි ටික නූල් බෝලයක් වගේ ලස්සනට ගැට ගහලා තියෙනවා''
''අපි එන්නම්, පටන් ගන්නම්, හැබැයි ආපහු යන්න බැහැ''
''ආධාරයත් එක්ක හදන ගෙදර දොරේ යතුර අපි එයාලට දෙන්න ඕන''
''දොරේ යතුර දුන්න කියන්නෙ ගේ අපිට අයිති නෑ .''
- කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් -
COLOMBO (News 1st) : MCC ගිවිසුම් කෙටුම්පතේ අහිතකර ඵල විපාක රැසක් පිළිබඳව සමාලෝචන කමිටුව ජනපති හමුවේ පෙන්වා දී තිබේ. සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුව විසින් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ. එහිදී MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවලට අද අත්ව ඇති ඉරණම පිළිබඳව ද කමිටු සාමාජිකයින් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර තිබේ. පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව වාර්තාව භාරදෙමින් කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ජනපති හමුවේ පැවසුවේ, ඒ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නොමැති බවයි. තවද රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්‍රීය ආවරණයක් කර නොමැති බව ද සභාපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, නිත්‍යනුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයා ද පැහැදිලි කර ඇති බවයි. ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ගිවිසුමට පටහැනි වීමක් බව ද කමිටු සභාපතිවරයා වාර්තාව ඉදිරිපත් කරමින් ජනපති ඉදිරියේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. ඔහු පවසන්නේ, නියෝජිතයින් දෙදෙනෙකුට ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකි බවයි. එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍ය උල්ලංඝණය කිරීමක් බව කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. කමිටු සාමාජිකයින්ගේ කරුණු පැහැදිලි කිරීම්වලින් පසු ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ, වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙසයි. මාස 06ක කාලයක් තිස්සේ සිදු කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව මෙම සම්පාදනය කෙරුණේ, විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමිනි. ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරු කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම සිව් පුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. https://www.facebook.com/NewsfirstSL/videos/2679906925626764/ https://www.youtube.com/watch?v=jdUbuj9S_a8&feature=youtu.be