by Staff writer 25-06-2020 | 1:56 PM
COLOMBO (News 1st) – හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව, නීතිපතිවරයා, කොළඹ විශේෂ ත්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ පවරා තිබු නඩුව සම්බන්ධ ඉදිරි තීරණ ගැනීම වළක්වමින්,අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
නඩුවේ 14 වැනි විත්තිකරු වන වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කර තිබු පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ .එච් .එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළේ ය.
අප වාර්තාකරු පැවසුවේ, පෙත්සම සම්බන්ධ ලිඛිත විරෝධතා ලබන 22 වැනිදා ගොනු කරන ලෙසටද විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළ බවයි.
පෙත්සම අද සලකා බැලු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කරුණු දක්වමින් එම නඩුව විභාග කිරීම සඳහා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළේ අගවිනිසුරුවරයා බව සඳහන් කළේ ය.
මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ ඊට මැදිහත්වී නියෝගයක් ලබාදීමේ අධිකරණ බලයක් අභියාචනාධිකරණයට නොමැති බවයි.
එහෙත්, විනිසුරු මඩුල්ල එය ප්‍රතික්ෂේප කළේ ය.
කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ විශේෂ ත්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙන්නේ,, 2008 වසරේ,, සුදු වෑන් භාවිත කරමින් කොළඹ දී, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම,ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 667 ක් යටතේයි.
එය නිකුත් කර ඇත්තේ වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට ගෙන, අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් බලාත්මක වන පරිද්දෙනි.