රුසියාව 75 වන විජයග්‍රහණය සමරයි

හිට්ලර් ප්‍රමුඛ නාසීන් පරාජය කළ රුසියාව 75 වන විජයග්‍රහණය සමරයි

by Staff writer 24-06-2020 | 9:47 PM

COLOMBO (News 1st) –  දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය පරාජය කිරීම සඳහා සෝවියට් සංගමය දැක්වූ දායකත්වය පිළිබඳව ලෝකය ණය ගැති විය යුතු බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කළේ ය.

ඔහු එසේ පැවසුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් සෝවියට් සංගමය ජයග්‍රහණය ලබා වසර 75 ක් සපිරීම නිමිත්තෙන් මොස්කව් නුවර, රතු චතුරශ්‍රය අභියස පැවැති දැවැන්ත හමුදා පෙළපාළිය අමතමින් ය. මෙම පෙළපාළිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ රුසියානු ජනාධිපතිවරයා 2036 වසර දක්වා බලයේ සිටීමේ අරමුණ ඇතිව ජනමත විචාරණයකට ජනතා සහය ඉල්ලා සිටින පසුබිමකදී ය. විදෙස් නායකයින් බොහෝ දෙනෙකු පැමිණ නොසිටියත් එවක සෝවියට් සමූහාණ්ඩුවේ හිටපු නායකයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය. රුසියානු ජනාධිපතිවරයා වටා සිටි යුද විරුවන් මෙයට එක්ව සිටියේ දින 14 ක් නිරෝධායනයට ලක් වීමෙන් පසුව ය. ව්ලැද්මීර් පුටින් රුසියානු ජනාධිපති
මේ වසරේ රුසියාවේ සාම්ප්‍රදායික විජයග්‍රාහී සැමරුම් උත්සවය පවත්වන්නේ ජුනි 24 වැනිදායි. මීට වසර 75 කට පෙර මෙවැනිම පෙළපාළියක් පළමු වරට පැවැත්වුණේ විශිෂ්ඨ ජයග්‍රහණයක් සමරන්නට. ඒ විරෝධාර මතකය අපි අමතක කරන්නේ නැහැ. අපටම සුවිශේෂ වූ ඒ වගකීම , යුතුකම , අනාගතයේදීත් අප අමතක නොකළ යුතුයි. නාසිවාදය පැරදවූ ඒ පරපුරට අපගේ කෘතඥතාව නිතැතින්ම හිමි වෙනවා. දේශප්‍රේමී යුද්ධයේ වීරයන්ට ජයවේවා.
රුසියාවට පනවා තිබු නීති රීති ලිහිල් කිරීමෙන් පසුව සංවිධානය කෙරුණු දැවැන්තම මහෝත්සවය මෙය බව සඳහන් ය. වාර්ෂිකව මෙම සැමරුම මැයි මස 9 වැනිදා පැවැත්වෙන නමුත් කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට රුසියානු ජනාධිපතිවරයාට සිදු විය. දේශප්‍රේමී යුද්ධය ලෙස හැඳින්වෙන මේ සැමරුමේදී දෙවැනි ලෝක යුද්ධය පැවැති සමයේ ජීවිත අහිමි වූවන් සිහි කෙරෙන අතර නාසි බලවේගවලට එරෙහිව නැඟී සිටි සෙබලුන් හා පුරවැසියන් ස්මරණය කෙරෙන්නේ මහත් ගෞරවයෙන් ය. එම කාලයේ දිවි අහිමි වූවෙකු නොමැති පවුලක් රුසියාවේ නොමැති බව ද පැවසේ. 1945 වසරේදී ජර්මනිය පරාජය කිරීම රුසියානු ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. මෙවර පෙළපාළියද දැවැන්ත ආකාරයෙන් පැවැත්වුණු අතර සෙබලුන් 14,000 ක් ඊට එක්ව සිටි බව සඳහන් ය. ඉන්දියාව, මොංගෝලියාව, චීනය මෙන්ම එවක සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබු රටවල්වල සෙබලුන්ද මේ අවස්ථාවට සහභාගී විය. ඔවුන් සියලු දෙනා ඊට එක් වූයේ නිරෝධායනයට යොමුවීමෙන් පසුව ය.