කොළඹ වරායේ ගැඹුරුම කොටස රටට අහිමි වෙයි ද?

කොළඹ වරායේ ගැඹුරුම කොටස රටට අහිමි වෙයි ද?

by Staff writer 24-06-2020 | 8:12 PM

COLOMBO (News 1st) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යළිත් සංවාදායකට හේතුවී තිබේ.

පසුගිය ආණ්ඩුව සමයේ මේ පර්යන්තය ජපාන, ඉන්දියා සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා ඉදිරිපත්වූ අතර එය වැළැක්වුණේ මතුවූ දැඩි විරෝධය නිසයි. නමුත් මේ වනවිට, නැවත මේ පර්යන්තය වරාය අධිකාරියට අහිමිවීමේ අවධානමක් මතුව තිබේ. කොළඹ වරාය කොටස් තුනකින් යුතු වන අතර, එක් කොටසක් වන ජය බහාලු පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ. සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් හෙවත් එස්ඒජීටී පර්යන්තය ශ්‍රී ලංකාව හා බහුජාතික සමාගම් ඒකාබද්ධ කර සකස් කළ සමාගමක් සතු ය. වරාය නගරයට යාබදව පිහිටා තිබෙන, කොළඹ දකුණ වරාය කළම්බු ඉන්ටර් නැෂනල් කන්ටේනර් ටර්මිනල් ලෙස හඳුන්වන අතර එහි වැඩි කොටස් ප්‍රමාණයක් සතුවන්නේ චීනයටයි. මේ අනුව විශාල නැව් නවතා තැබිය හැකි බහාලුම් විශාල ප්‍රමාණයක් මෙහෙවීමේ හැකියාව සහිත පර්යන්තයක් දැන් කොළඹ වරාය තුළ වරාය අධිකාරියට අයත් නැත. එම හේතුවෙන් විශාල නෞකා පවා නවතා දැමිය හැකි ගැඹුරුම කොටස ලෙස සැලකෙන කොටස, නැගෙනහිර පර්යන්තය ලෙස දැනටමත් මූලික සංවර්ධන කටයුතු සිදුකර තිබේ. වරාය අධිකාරිය මේ සංවර්ධන කටයුතු සිදු කළේ රාජ්‍ය බැංකුවකින් ලබාගත් ණය මුදලකින් ය. යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම දිගින් දිගටම නැගෙනහිර පර්යන්තය ඉන්දු, ජපාන හා ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ බව වාර්තාවේ. නමුත් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත 2018 ජුනි 6 වනදා රැස්වූ ජාතික ආර්ථික සභාව මේ තීරණය අත්හිටුවා නැගනෙහිර පර්යන්තය වරාය අධිකාරියට  අයත් කොටසක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කළේ ය. ඒ අනුව දින 52 සිදුවූ ආණ්ඩු වෙනසේදී මේ සඳහා අවශ්‍ය මූලික උපකරණ ගෙන්වීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණි. නමුත් නැවතත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලබාගත් අවස්ථාවේ එවක ඇමතිවරයාවූ සාගල රත්නායක මහතා යළිත් ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික ලියවිල්ලක් සකස්කර ඇති බව වාර්තා වේ. මේ වනවිට වරාය අධිකාරිය මුදල් ගෙවා චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 3 ක් කොළඹ වරායට ළඟා වී තිබේ නමුත්, පසුගිය සෙනසුරාදා සිට මේ දක්වා එම දොඹකර ගොඩ බෑමට හෝ නැගෙනහිර පර්යනත්යේ සවි කිරීමට අවස්ථාවක් හිමිව නැත. පොදු ජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති චෝදනා කරන්නේ බලවත් නිලධාරී හස්තයක මැදිහත්වීමෙන් නැගෙනහිර පර්යන්තය යළිත් ඉන්දු, ජපාන හා ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරික සැලැස්මට යටත් කිරීමේ උත්සාහයක් ඇති බවයි. වරයා අධිකාරිය යටතේ නැගනහිර පර්යන්තය වැඩි දියුණු කර පවත්වාගෙන යා හැකි බවට වෘත්තීය සමිති දිගින් දිටම අවධාරණය කරයි. මේ අතර ගැන්ට්‍රි දොඹකර රැගන පැමිණි නෞකාවටද මේ වනවිට විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබේ. වරාය අධිකාරියට නැගෙනහිර පර්යන්තය වැඩි දියුණු කිරීමට ඉඩ නොදෙන්නේ කවුද? ඔවුන්ගේ අරමුණ විශාල නැව් පහසුවෙන් හැසිරවිය හැකි ගැඹුරුම කොටස වන මේ වටිනා සම්පත රටට අහිමි කිරීම ද?