රාජිත, අර්ජුුන හා අනුර සාක්ෂි නොදී පිටව යයි

රාජිත, අර්ජුුන හා අනුර ජනාධිපති කොමිසමෙන් සාක්ෂි ලබාදීමකින් තොරවම පිටව යයි

by Staff writer 23-06-2020 | 3:17 PM

COLOMBO (News 1st) - දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ට්ගාඩ් විමර්ශනයට අදාළව තමන් චූදිතයෙකු වන්නේ කෙසේ දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රශ්න කළේ ය.

ඔහු පෙන්වාදෙන්නේ දූෂිත ගනුදෙනුවලට එරෙහිව ක්‍රියාකළ පුද්ගලයින් මෙම කොමිසම හමුවේ චූදිතයින් බවට පත්ව ඇති බවයි. මේ කොමිසම දඬුවම් පැමිණවීමක් නොකරන අතර කරුණු සොයා බලන කාර්යක් පමණක් සිදුකරන බව මේ සම්බන්ධව රජය පාර්ශ්වයේ ප්‍රතිචාරයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට පැවරී ඇති බලතල අනුව පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළේ ය. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් එහි සාමාජිකයෝ ය. මේ කොමිසම හමුවේ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ගොනු කළ පැමිණිල්ලෙන් පසුගිය රජය සමයේ එම ආයතනය සම්බන්ධව සිදුකළ විමර්ශන දේශපාන පළිගැනීමක් ලෙස සඳහන් කර තිබිණ. ඊට අදාළව විමර්ශනය සඳහා අනුර දිසානායක මහතාට අමතරව අර්ජුණ රණතුංග, රාජිත සේනාරත්න යන හිටපු අමාත්‍යවරුන් සහ හිටපු සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර යන මහත්වරුන් අද කොමිසමට කැඳවා තිබිණ. මේ පිරිස අද කොමිසම හමුවේ මූලික විරෝධය පළ කළහ. හිටපු සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා තමන් වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමේ ක්‍රියා කලාපයට එරෙහිව වාචිකව කොමිසම හමුවේ විරෝධතාවක් ගොනු කරන බව කියා සිටියේ ය. ඔහු පැවසුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියෙකු ලෙස කටයුතු කළ තමන් මෙලෙස සාක්සි විමසීමට කැඳවීම සම්බන්ධයෙන් කනගාටු වන බවයි. අවශ්‍ය වුවහොත් තමාට සහය ඉල්ලා ඉහළම අධිකරණයකට කරුණු ඉදිරිපත් කරන බව ජනාධිපති නිතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා සඳහන් කළේ ය. රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පැවසුවේ, තම සේවාදායකයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරිමට හේතුව අධ්‍යනය සඳහා පැමිණිලිකරුවන්ගේ සාක්ෂි පිටපත් අවශ්‍ය බවයි. එම පිටපත් අධ්‍යනය සඳහා මාසයක කාලයක් අවශ්‍ය බව නීතිඥවරයා දැනුම් දුන්නේ ය. ඔහු පැවසුවේ ඉන් අනතුරුව කොමිසම හමුවේ පෙනි සිටිනවාද නැද්ද යන්න තීරණය කරන බවයි. ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අවසන් අදියරේ පවතින බව එහිදී කියා සිටි කොමිසමේ සභපාතිවරයා සඳහන් කළේ කැඳවීම කලේ විෂය පථයට අදාළව බැවින් කිසිදු කාරණයක් නිසා යළි සමාලෝචනයක් සිදු නොකරන බවයි. සිද්ධියට අදාළව තමා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට හේතුවූ සාධක නොදන්නා බව අනුර දිසානායක මහතා ද කියා සිටියේ ය. එබැවින් තමා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට හේතුවූ පැමිණිලිකරුවන්ගේ ප්‍රකාශ ලබා දෙන්නැයි, ඔහු ඉල්ලා සිටියේ ය. පැමිණිලිකාර පාර්ශ්වය රාජ්‍ය නිලධාරින් නොවන බැවින් ,කොමිෂන් සභාවේ කාර්යයන් අතරට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සිද්ධිය අදාළ වන්නේ කෙසේදැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේ ය. අර්ජුන රණතුංග මහතා මෙහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කරනු ලැබුවේ කුමන හේතුවක් පදනම් කර ගෙන දැයි, ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයාත් කොමිසමෙන් විමසා සිටියේ ය. පැමිණිල්ලේ පිටපත් අධ්‍යනය සඳහා යම් කාලයක් ලබා දෙන ලෙසත් කොමිෂන් සභාවට ගෞරව කිරිම වෙනුවෙන් සිය සේවාදායකයා කොමිසම හමුවේ පෙනි සිටි බව ඔහු වැඩිදුරටත් පැවසී ය. කරුණු සලකා බැලූ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කොමිෂන් සභාවේ ලේකම්වරියට නියෝග කළේ , වගඋත්තරකරුවන්ට අවශ්‍ය සියලු පිටපත් ලබාදෙන ලෙසයි. ලබන 26 වැනිදා යළි සාක්ෂි කැඳවීමට කොමිෂන් සභාව තීරණය කළේ ය.