by Staff writer 22-06-2020 | 10:51 PM
COLOMBO (News 1st) : පසුගිය20 වැනිදා සවස වත්තල, දික්ඕවිට සුසාන භූමිය ඉදිරිපිට පිහිටි මුහුදේ දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ සිව්දෙනාගේ මෘත ශරීර අද ඔවුන්ගේ නිවෙස්වලට රැගෙන එනු ලැබුවේ ය.
උස්වැටකෙයියාවේ පුබුදුගම හා බදුල්ලේ, හාලිඇල පදිංචි අවුරුදු 16 සහ 20 තරුණියන් දෙදෙනෙක්, 14 හැවිරිදි පිරිමි දරුවෙක් හා තිස් හැවිරිදි තරුණයෙක් දික්ඕවිට මුහුදු තීරයේ දී දියේ ගිලී ජීවිතක්ෂයට පත් වුයේ පසුගිය විසි වැනිදා ය.
කඳාන, කන්දේවත්තේ පදිංචි 14 හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර අද ඔහුගේ නිවසට රැගෙන ආවේ ය.
එච්.කේ සජිත් සඳරුවන් නැමති මෙම දරුවා දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා ය.
ඔහු කඳාන හපුගොඩ මහා විද්‍යාලයේ සිසුවෙකි.
ඔහුගේ අවසන් කටුයුතු හෙට දිනයේදී කපුවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.
කඳාන , පුබුදුගම පදිංචි ඩබ්.එම් සමන්ති සුලෝචනාගේ මෘත ශරීරය ද අද එම නිවසට රැගෙන ආවේ ය.
ඇයගේ අවසන් කටයුතු හෙට දිනයේදී කපුවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.
සිද්ධියෙන් මියගිය උස්වැටිකෙයියාවේ කඳාන, පුබුදුගම ඒ. සිතුමිණි තරුෂා ප්‍රනාන්දු පවුලේ දෙවැනියා ය.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට උස්වැටකෙයියාව කතෝලික පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.
දියේ ගිලෙමින් සිටි පිරිස බේරාගැනීමට ගොස් මියගිය බදුල්ල, හාලි ඇල සංජීව ප්‍රියදර්ශනගේ අවසන් කටයුතු අද සිදු කෙරුණේ උඩකොහොවිල , ගලබොඩ, පතන පොදු සුසාන භූමියේදී ය.