by Staff writer 22-06-2020 | 7:02 PM
COLOMBO (News 1st) : ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමසමට පැමිණිලි කිරීමට නීතියෙන් අවස්ථාවක් නැතැයි, නීතිපති දප්පුල ද ලිවේරා මහතා අවධාරණය කර තිබේ.
නීතිපතිවරයා පෙන්වා දෙන්නේ අදාළ කොමිසම හිටුවා ඇත්තේ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ එවැනි ගැටලු සොයා බැලීමට පමණක් බවයි.
''දේශපාලන හිංසනය පිළිබඳ සිද්ධි විමර්ශනය කිරීමේ කොමිසම'' පත් කළේ, රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය සංස්ථාවල සේවකයින්ට, ත්‍රිවිද හමුදාවේ සාමාජිකයින්ට සහ පොලිස් නිලධාරීන්ට දේශපාලන හිංසා පීඩා සිදුකර ඇද්ද යන්න පිළිබඳ සිද්ධින් සොයා බැලීමට බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ නිශ්ශංක සේනාධිපති නමැත්තා ඉහත සඳහන් කිසිදු කාණ්ඩයකට අයත් නොවන බවයි.
මොහු පිළිබඳව මුලින් බරපතළ වංචා දූෂණ පිළිබඳව ජනාධිපති කොමිසමෙන් විමර්ශනයක් සිදුකළ බවත් එහිදී සේනාධිපති මහතා සහ ඔහුගේ සමාගමත්, රක්නා ලංකා සමාගමත් සාවද්‍ය පරිහරණය යටතේ කර ඇති වැරදි අනාවරණයවූ බව නීතිපතිවරයා සඳහන් කරයි.
ඔහු පවසන්නේ මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකළ බවයි.
එම නිසා නිශ්ශංක සේනාධිපති මහතාගේ පැමිණිල්ල පදනමක් නැති චෝදනා මත ගොනු කළ එකක් බවත් එය ඔහුට එරෙහි චෝදනා විමර්ශනය කරන නිලධාරීන් බිය වැද්දීමටත් නීතිපති දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට හානිකිරීමටත් සිදුකළ ක්‍රියාවක් ලෙසත් නීතිපතිවරයා හඳුන්වාදී තිබේ.
විමර්ශන කොමිෂන් සභාවක් යනු තොරතුරු එක්රැස්කරන එකක් බවත් එය අධිකරණයක් නොවන බවත් නීතිපතිවරයා කොමිසමට යැවූ ලිපියේ සඳහන් ය.
නීතිපතිවරයා අවධාරණය කරන්නේ දැනටමත් පැමිණිලිකාර පාර්ශ්වයට එරෙහිව නීතිපතිවරයා අධිකරණයේ ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශ්න කිරීමට හෝ විමර්ශනය කිරීමට කොමිසම තැත් කිරීම අධිකරණයට අතපෙවීමක් ලෙස සලකන බවයි.
පැමිණිලි පාර්ශ්වයට විරුද්ධ නඩු මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියාට සිතාසි හා නොතීසි යවන තරමට පැමිණිලි කරු කොමිසම නොමග යවා ඇතැයි ද ඔහු පවසයි.
මෙය සම්පූර්ණයෙන්ම විමර්ශන නිලධාරීන් බිය වැද්දීමක් හා බාධාකිරීම සඳහා කළ පැමිණිල්ලක් බව නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නිතිඥ රොහාන්ත අබේසුරිය මහතාට සභාපති උපාලි අබේරත්න මහතා අද දැඩි ලෙස අවවාද කර තිබිණ.
ඒ ඊයේ දිනයේදී නීතිපතිවරයා යොමුකළ ලිපිය පිළිබඳව කොමිසමේ මතය විමසීමේදීයි.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පැවසුවේ , නීතිපති දෙපාර්තමේන්තුවට ද්විත්ව චරිත නිරූපණය කළ නොහැකි බවයි.
නීතිපති දෙපාර්තමේන්තුව කොමිසම වෙනුවෙන් පෙනි සිටිය යුතු බව සභාපතිවරයාගේ ස්ථාවරයවී තිබේ.