කරුණාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්නැයි නියෝග

කරුණා අම්මාන් කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් ආරම්භ කරන්නැයි වැඩබලන පොලිස්පතිගෙන් CIDයට නියෝග

by Chathuranga Rajapaksha 22-06-2020 | 10:35 AM
COLOMBO (news 1st):- එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි. දෙමළ එක්සත් නිදහස් පෙරමුණු නායක විනයාගමුර්ති මුරලිදරන් මහතා අම්පාර, නාවිදන් වැලි ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් පසුගියදා ප්‍රකාශයක් කළේය. එහිදී විනයාගමුර්ති මුරලිදරන් මහතා සඳහන් කළේ, කොරෝනාවට වඩා තමන් භයානක බව කාර්තිව් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ප්‍රකාශයක් කර ඇති බවය.

"කාර්තිව් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා මංගැන ප්‍රකාශයක් කරලා තියෙනවා. කරුණා අම්මාන් කොරෝනාවට වඩා භයානකයි කියලා"

එම ප්‍රකාශය ඇත්තක් බවත් කොරෝනා වලින් මිය ගියේ නව දෙනෙකු වුවත්, ඔවුන් විසින් එක රැයක් තුළ අලිමංකඩ ප්‍රදේශයේදී හමුදාවේ සාමාජිකයින් 2000ක් 3000ක් පමණ මරා දැමූ බවත් ඊට පිළිතුරු දෙමින් විනයාගමුර්ති මුරලිදරන් මහතා එහිදී පැවසුවේය.

"ඒක ඇත්ත තමයි. එයා කියපු එක. කොරෝනා ඇවිල්ලා මැරුණේ නව දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලිමංකඩදි 2000ක් 3000ක් විතර හමුදාව මරා දැමුවා. තේරෙනවනේ. එයා කියපු එක හරි. කමක් නෑ. කිලිනොච්චිවලත් කී දාහක්ද?"

https://www.youtube.com/watch?v=ztNjnmhREOY&feature=youtu.be