කරුණාට විරුද්ධව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් පැමිණිල්ලක්

by Chathuranga Rajapaksha 22-06-2020 | 1:23 PM
COLOMBO (News 1st): විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන දඬුවම් කරන්නැයි ඉල්ලා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම ගැන ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කළ බව ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ බව පැවසුවේ පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා අද උදෑසන පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

"කරුණා අම්මාන් ජන්ද රැස්වීමක් අමතමින් කියනවා. ආරක්ෂිත හමුදාවන් 2000 ක් 3000 ක් මරා දැමුව බව. කරුණා අම්මාන් නැමති මේ ත්‍රස්තවාදියා මිනිමරුවා. තමන් කළ ඒ නීච නින්දිත ක්‍රියාව ආඩම්බරයක් හැටියට තමයි කියන්නේ. ඒක ඉදිරිපත් කරමින් කියන්නේ මට ජන්දේ දීපන් කියලා"

හමුදා සෙබළුන් ඝාතනය ගැන කරුණා අම්මාන් ඉතා ආඩම්බරයෙන් කතා කළ බවත් ඔහු සමාජය තුළ නායකයෙකු ලෙස අද වැජඹෙමින් සිටින බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේය. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ කරුණාට වී.අයි.පී. කෙනෙකු ලෙස ආරක්ෂාව සපයන්නෙත් හමුදාවෙන් බව ය.

"කරුණා අම්මාන් මේ සා විශාල දරුණ ක්‍රියාවක් කරලත්. සාමාජ නායකයෙක් හැටියට වැජඹෙනවා. අදත් වී.අයි.පී. කෙනෙක් හැටියට ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක හමුදාවෙන්"

තමන් කළ අපරාධයක් පිළිබඳ තමන්ගේ කටින්ම පවසනවානම් ඊටත් වඩා සාක්ෂියක් කුමකටදැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

"අද අපි පැමිණිල්ලක් කළා අත්අඩංගුවට අරං දඬුවම් දෙන්න කියලා. තමන්ගෙම් කටින් කියනවනම් ඊට වඩා සාක්ෂි ඕන නැහැ"