අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුද? හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හෙළි කරයි

by Chathuranga Rajapaksha 22-06-2020 | 8:01 PM
COLOMBO (News 1st): කවුරු කොහොම තමන්ම විවේචනය කළත්, 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තමන් මත්ද්‍රව්‍ය මර්දනයට ගෙනගිය ජාතික වැඩපිළිවෙළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රිදුණු බව ද ඔහු සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද හිඟුරක්ගොඩදී පැවති පාක්ෂික හමුවකදීය. එබැවින් තමාව බලයෙන් ඉවත් කිරීමට, ජනතාව අතර අප්‍රසාදයට ලක් කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උත්සාහ කළ බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය. හිර ගෙදර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන් ඝාතනය කිරීමට සාකච්ඡා කළ බව රාජ්‍ය බුද්ධි අංශ තමන්ට දැනුම් දුන් බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. තමන් රට පාලනය කළ සමයේ මධූෂ් වැනි ජාත්‍යනත්ර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් ඇල්ලූ බවත් ඔවුන්ට දඬුවම් ලබා දුන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.