සටනකින් තුවාල ලැබූ මේඝ විල්පත්තුවේදී මරුට

සටනකින් තුවාල ලැබූ මේඝ ඇතා විල්පත්තුවේදී මරුට

by Staff writer 21-06-2020 | 7:23 PM
COLOMBO (News 1st): සටනකින් තුවාල ලබා ඇති ව්‍යාදිකුලම් ඇතා හෙවත් 'මේඝ' මියගොස් තිබේ. ඇතුන් 10 ක් විතර සැරිසරන විල්පත්තු අභයභූමියේ හිටපු දිගම දළ යුගල හිමි ඇතා ලෙස 'මේඝ' හැඳින්විය හැකිය. ‍වසරේ බොහෝ කාලයක් මෙම ඇතා රැඳී සිටින්නේ ව්‍යාදිකුලම් ප්‍රදේශයේය. විල්පත්තු රක්ෂිතයේ වැටී සිටින බවට සංචාරකයින් පිරිසක් කළ දැනුම්දීමකට අනුව වන ජීවී නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණි. විල්පත්තු ජාතික උද්‍යාන මූලස්ථානයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩී.එම්.එන්. ශ්‍රීනාත් බණ්ඩාර මහතා
"අපි දුටුවා වැටී සිටින අලියගේ දකුණු කණේ තුවාලයක් තිබෙන බව. අනුරාධපුර පශු වෛද්‍ය ඒකකය සහ වනජීවී සංරක්ෂණ ප්‍රධාන කාර්යාලය දැනුවත් කරා. ඉන් පසුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ උපදෙස් සහ විල්පත්තු ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු තමන්ගේ උපදෙස් අනුව අපි මේ ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා. තවත් ඇතෙකු හෝ පණු දළ සහිත ඇතෙකු සමග සටනින් ලැබූ තුවාලයක් බව අපි නිගමනයකට ආවා. හිස ඔසවා ගැනීමට නොහැකිවයි එම අවස්ථාවේදී හිටියේ කළහැකි සියලු දේ අපි කළා. නමුත් අපට එම ඇතා බේරා ගන්න බැරි වුණා. අද දිනයේ දී මෙම ඇතාගේ මරණ පරීක්ෂණය පශු වෛද්‍ය චන්දන ජයසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා ඉන් පසුව එම ඇතා එම ස්ථානයේම මිහිදන් කිරීමට කටයුතු කරනු ලැබුවා. විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ සැරිසරන ඇතුන්ගේ ආරක්ෂාව සඳහා අපි උපරිමයෙන්ම ආරක්ෂාව ලබා දීමට කටයුතු කරනවා"
හැම අවුරුද්දෙම එක් කාලෙකදී ව්‍යාදිකුලම්, තේක්කගම, මහ‍විලච්චිය හරහා විල්පත්තු ජාතික උද්‍යානයට පැමිණ නැවතත්, ව්‍යාදිකුලම් වෙත මෙම මේඝ හස්තියා ගමන් කරන බව වන ජීවි නිලධාරීන් පවසයි. වන ජීවි නිලධාරීන් සඳහන් කළේ, මේඝ හස්තියා වයස අවුරුදු 55 ත් 60 ත් අතර වියේ පසු වූ බවය.