කටුනායක PCR පරීක්ෂණ වැඩි කරන්නැයි අගමැති උපදෙස්

කටුනායක ගුවන්තොටුපොළේ PCR පරීක්ෂණ සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩි කිරීමට අගමැතිගෙන් උපදෙස්

by Staff writer 21-06-2020 | 7:40 AM

COLOMBO (News 1st) - කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිදුවන PCR පරීක්ෂණ සංඛ්‍යාව 1000 ක් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් දෙනු ලැබ තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, ගුවන්තොටුපොළ කඩිනමින් විවෘත කිරීමේ අරමුණින් මෙම දැනුම් දීම කළ බවය. ඒ සඳහා පරීක්ෂණාගාර නිලධාරීන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊට අනියුක්ත කරන්නැයි ද දැනුම් දී ඇත. PCR පරීක්ෂණ වාර්තා පැය 2 ක් වැනි කෙටි කාලයක් තුළ මගීන් වෙත නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද එමගින් වැඩිදුරටත් දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ය. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, ලබන අගෝස්තු 01 වැනි දා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙරටට පැමිණෙන මගීන් සඳහා යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි. එහෙත් සංචාරක කර්මාන්තය නියෝජනය කරන පාර්ශව ගණනාවක් ලබන ජූලි 15 වැනි දා සිට ගුවන්තොටුපොළ විවෘත කරන්නැයි ඉල්ලා ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය. ලෝකයේ සෙසු රටවල් රැසක ගුවන්තොටුපොළ කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති පසුබිමක එම ඉල්ලීම පිළිබඳ සළකා බලමින් සිටින බව එම කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.