MCC ගිවිසුම නිසා උණුසුම් වූ නේපාල වැසියන්..

MCC ගිවිසුම නිසා උණුසුම් වූ නේපාල වැසියන්..

by Staff writer 20-06-2020 | 9:19 PM

COLOMBO (News 1st) - අමෙරිකාවත් සමග MCC ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් රට තුළ දැඩි විරෝධතාවක් පැන නැගී තිබේ.

අපේ රට තවමත් MCC ගිවිසුමට අත්සන් කර නොමැත. නමුත්, නේපාලය 2017 වසරේ දී MCC ගිවිසුම අත්සන් කළේය. අද වනවිට එයට එරෙහිව පෙළ ගැසෙන නේපාල වැසියන් ඉල්ලා සිටින්නේ පාලකයන් ගිවිසුම අත්සන් කළත් පාර්ලිමේන්තුව එය අනුමත නොකළ යුතු බවයි. නේපාල වැසියන් පවසන්නේ, පාර්ලිමේන්තුව එය අනුමත කළහොත් රටේ ජාතික අවශ්‍යතාවලට සහ ස්වෛරීභාවයට හානියක් සිදුවන බවයි. නේපාලයේ බලශක්ති අංශය ශක්තිමත් කිරීම, කලාපීය බලශක්ති සම්බන්ධතාව වැඩි දියුණු කිරීම , ප්‍රවාහන වියදම් පාලනය කිරීම, හා පුද්ගලික ආයෝජන සහ රැකියා උත්පාදනය දිරිගැන්වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ගිවිසුමකට නේපාල රජය අත්සන් කර තිබේ. MCC ආයතනය විසින් දකුණු ආසියාවේ පළමු වරට ගිවිසුම් ගත වූයේ ද නේපාලය සමගයි. 2017 වසරේ සැප්තැම්බර් 14 වැනිදා ගිවිසුමට අත්සන් කළේ, එවක නේපාලයේ මුදල් අමාත්‍යවරයා සහ , MCC හි වත්මන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජොනතන් නාෂ් විසිනි. ශ්‍රී ලංකාවේ වත්මන් අමෙරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් එදා නේපාලයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස මේ ගිවිසුම පිටුපස සිටියාය. මෙම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් නේපාලයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් අතර තියුණු බෙදීමක් ඇතිව තිබේ. මේ වනවිට ඊට මහජන විරෝධය ද එල්ලවීමට පටන් ගෙන තිබේ. පාලක පක්ෂය සමග විරුද්ධවාදීන් තර්ක කරන්නේ අමෙරිකාවේ “සැඟවුණු න්‍යාය පත්‍රය” නේපාලය මත පැටවීමට උත්සාහ කරන බව පවසමිනි. MCC ගිවිසුම අනුමත කිරීමේ යෝජනාව පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා නේපාල කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබේ.