වලයාකාර සූර්යග්‍රහණයක් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස හෙට

වලයාකාර සූර්යග්‍රහණයක් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නැරඹීමට ලංකාවාසීන්ට හෙට අවස්ථාව

by Staff writer 20-06-2020 | 7:07 PM
COLOMBO (News 1st): වලයාකාර සූර්යග්‍රහණයක් හෙට(21) දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට, අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසයි. එම අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව හෙට පෙරවරු 10.23 පමණ දිස්වන්නේ යාපනය ඩෙල්ෆ්ට් දූපත් ආශ්‍රිත ප්‍රදේශයටයි. මෙම අර්ධ සූර්යග්‍රහණයේදී චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත ආවරණය වීමේ උපරිමය සියයට 24කි. එය කයිට්ස්, කන්කසන්තුරේ, වැල්වැටිතුරෙයි, පේදුරු තුඩුව යන ප්‍රදේශවලට දිස්වනු ඇති. කොළඹ ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය පෙරවරු 10.29 ට ආරම්භ වී පෙරවරු 11.51 වනවිට උපරිමයට ළඟා වී, පස්වරු 1.19 ට පමණ අවසන් වනු ඇතැයි ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කළේය. කොළඹ සිට නිරීක්ෂණය කරන විට උපරිම වශයෙන් සූර්යයාගේ මුහුණතෙහි සියයට 16.05 ක් චන්ද්‍රයාගෙන් ආවරණය වේ මෙම අර්ධ සූර්යග්‍රහණය පියවි ඇසින් නිරීක්ෂනය නොකළ යුතුයි. විශේෂිත කණ්නාඩි හෝ නොම්බර14 වෑල්ඩින් වීදුරුවකින් නිරීක්ෂණය කිරීම ආරක්ෂාකාරී බව ද ආතර් සී. ක්ලාක් ආයතනය පවසයි. මෙම සූර්යග්‍රහණය ත්‍රීකුණාමලයට පෙරවරු 10.31 ටත් , ගාල්ලට පෙරවරු 10.32 ටත් , අනුරාධපුරයට පෙරවරු 10.28 ත් , මහනුවරට පෙරවරු 10.31 ටත් , මඩකලපුවට පෙරවරු 10.35ටත් , බදුල්ලට පෙරවරු 10.34ටත් රත්නපුරට පෙරවරු 10.32ටත් දිස්වනු ඇති ආතර් සී.ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා
"සූර්යයත්, චන්ද්‍රයන් , පෘථිවියත් ඒක රේඛීය පිහිටීමකට ආවට පස්සේ සූර්යාගේ මුහුණත මතින් චන්ද්‍රයා ගමන් කරනකොට, චන්ද්‍රයාගේ ඇති කරන සෙවනැල්ල පෘතුවිය මත පතිත් වීම නිසා තමයි සූර්යග්‍රහණයක් ඇති වෙන්නේ. හෙට දින ඇති වෙන ලංකාවට පේන අර්ධ සූර්යග්‍රහණයේදී චන්ද්‍රයාගේ උප ඡායාව මතින් තමයි පෘථිවිය හරියටම පිහිටන්නේ. ඒ නිසා ලංකාවට අර්ධ සූර්යග්‍රහණයක් උදා වෙලා තියෙන්නේ. කිසිම හේතුවක් නිසාමත් සූර්යයා දෙස පියවි ඇසින් නම් බලන්න එපා"