පේරාදෙණියෙන් සැක සහිත පාෂාණයක්?

පේරාදෙණියෙන් සැක සහිත පාෂාණයක්? විද්‍යාඥයින් වහාම පරීක්ෂණ අරඹයි..

by Staff writer 20-06-2020 | 9:32 PM
පේරාදෙණිය, පහල කළුගමුව ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ තිබී ආකාශ වස්තුවක් බවට සැක සහිත පාෂාණයක් හමුවී තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා එය භාර දී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයටයි. සුදු පැහැයෙන් යුතු මෙම පාෂාණය බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ තිබී අද පෙරවරුව් සොයාගෙන තිබුණි. විහාර භූමියේ ඉදිකෙරෙමින් පවතින චෛත්‍යය පිහිටි පෙදෙසට ඊයේ රාත්‍රීයේ හෝ අද අලුයම මෙය පතිත වන්නට ඇති බවට අනුමාන කරයි. කළුගමුව ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටියන්තොට චන්දානන්ද හිමි - "අපි අභිනවයෙන් ඉදිකරමින් යන ඒ චෛත්‍ය රාජයානන්ගේ පින් බිම තුළට ,අද උදෑසන හෝ රාත්‍රී කාලයේ ,අපි හිතන විදිහට උල්කාශ්මයක් කියලා තමයි අපි හිතන්නෙ ,උල්කාශ්මයක කොටසක් මේ පිං බිමට ඇද වැටිලා තියෙනවා .අපි ඒ ගැන වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා පේරාදේණිය විශ්වවිද්‍යාලයට භාර දී තිබෙනවා" පසුව ප්‍රදේශවාසීන් එක්ව එම ප්‍රදේශය අවට මෙවැනි තවත් පාෂාණ ඇත්දැයි පරීක්ෂා කළත් කිසිවක් හමු වී නැත. ග්රෑම් 1605 ක් බරැති, දිග සෙන්ටිමීටර් 16 ක් වන මෙය උසින් සෙන්ටිමීටර් 7ක් පමණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා - " මේ තියෙන එක පාෂාණ ගති ගුණ වැඩියෙන් දක්වන ,උල්කාපාතයක් යැයි සැක කළ හැකි පාෂාණයක් .මෙය සොයාගත් ස්ථානයේ මෙවැනි පාෂාණ නැති නිසා කෙනෙකුට හිතන්න පුළුවන් මෙය ගඟක ජලය ගලා ගෙන ගිහිල්ලා ,රවුම් වුණ පාෂාණයක් හැටියට හිතන්න පුළුවන් .නමුත් මේ පාෂාණයේ ඒ රවුම් වුණ ආකාරය ,බැලුවහම මේක ටිකක් අස්වාභාවකයි .මෙ උල්කාශ්මයක ගතිගුණ දක්වනවා.ඒ වගේම මෙය පිළිස්සුණු ගතියක් පෙන්නනවා. ඒක නිසා මෙය දැඩි තාපයකට නිරාවරණය වුණා කියලා හිතන්නත් ඉඩ තියෙනවා.ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙය මැනවින් අධ්‍යයනය කරලා මෙය උල්කාපාතයක් දැයි සැක හැර දැන‍ගෙන ජනතාවට කියන්න "