දිස්ත්‍රික්ක 18ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

දිස්ත්‍රික්ක 18ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

by Staff writer 20-06-2020 | 1:14 PM
COLOMBO (News 1st) : මහ මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 18 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි. රජයේ මුද්‍රණාලයාධිපතිණි ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 10 කට අදාළ නිල ඡන්ද පත්‍රිකා ජාතික මැතිවරණ කොමිෂන් සභාවට භාර දුන් බවයි. ඒ අනුව මාතලේ , නුවරඑළිය , මාතර , යාපනය , කිලිනොච්චිය, මඩකලපුව , අනුරාධපුරය , පොළොන්නරුව , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල ඡන්ද පත්‍රිකා ද අද මැතිවරණ කොමිසමට භාර දෙන බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කළා ය. ඇය පැවසුවේ , හෙට දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර මැතිවරණ කොමිසමට භාර දෙන බවයි. මෙවර මහ මැතිවරණයට අදාළව එක්කෝටි 70 ලක්ෂයකට අසන්න නිල ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක් මුද්‍රණය කිරිමට නියමිතව තිබේ. මේ අතර මහ මැතිවරණයේ ගෘහ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය ද ආරම්භ කර ඇතැයි, රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා ය. ඇය පැවසුවේ, ලක්ෂ 60 කට ආසන්න ගෘහ දැන්වීම් පත්‍රිකා ප්‍රමාණයක් මුද්‍රණය කෙරෙන බවයි. එම පත්‍රිකා ලබන 25 වැනිදාට පෙර මැතිවරණ කොමිසමට භාර දීමට සැලසුම් කර ඇතැයි රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළා ය.