ආගමික වතාවත්වලට මුල්තැන දුන් ජනපතිගේ උපන් දිනය!

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජනපති උපන් දිනය සමරයි!

by Chathuranga Rajapaksha 20-06-2020 | 6:29 PM
COLOMBO (News 1st): ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ජන්ම දිනය අදට යෙදී තිබේ. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජනාධිපතිතුමා සිය ජන්ම දිනය අද සැමරුවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් අභියස කිරි ආහාර පූජාවක නිරත විය. ජනාධිපතිතුමා, චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාවක්ද සිදු කළ අතර චෛත්‍ය මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද සිදු කළේය. රුවන්වැලි සෑ පරිශ්‍රයේ පිහිටි දුටුගැමුණු මහ රජුගේ සහ විහාර මහා දේවියගේ පිළිරුවලට මල්දම් පැළඳ‍වීම ද මෙහිදී සිදු කෙරිණි. චෛත්‍ය මළුවේ පිහිටි බුද්ධ මන්දිරය සහ දේවාල වෙත ගිය ජනාධිපතිතුමා එහිදී ආගමික වතාවත්වල නිරත විය. මහා සංඝරත්නය උදෙසා උදෑසන දානය පූජා කිරීම සිදු වුණේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙනි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පවුලේ ඥාතීන් සහ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අභයගිරිය පූර්වාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත විය. එහිදී ජනාධිපතිතුමා උතුරු මැද පළාතේ සංඝනායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමට කැප වූ රාජපක්ෂ මහතා කෝවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට කළ මෙහෙවර උන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්විය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විහාරස්ථානයේ අබලන්ව ඇති ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර දීමටත්, මීට වසර 40 කට පමණ ඉහතදී වන්දි ගෙවීමකින් තොරව පවරාගත් ඉඩම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවය. කුට්ටම්පොකුණ විහාරය ද වැඳ පුදාගත් ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය ඉහළගම පවරකිත්ති හිමියන්වද බැහැ දුටුවේය. විහාරස්ථානයට පැමිණ සිටි බැතිමතුන් සමග ජනාධිපතිතුමා කතාබහක ද නිරත විය. 1949 වසරේ ජුනි මස 20 වැනිදා මාතර, පාලටුවේදී උපත ලැබු ගෝඨාභය රාජපක්ෂ මහතා හැදී වැඩුණේ, හම්බන්තොට වීරකැටිය ගම්මානයේදීය. ඔහුගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා මෙරට දේශපාලනයේ සුවිශේෂ මං සලකුණු සටහන් කළ අයෙකි. ඒ මග යමින් මහින්ද, චමල් සහ බැසිල් සහෝදරවරුන් දේශපාලනයට පිවිසි නමුත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකාරි දේශපාලනයට පැමිණියේ පසුකාලීනවයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, 1992 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමලත් නිලධාරියෙකු වන ඔහු 2005 වසරේදී මෙරට ආරක්ෂක ලේකම් ධූරයට පත්වුණේ, සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදීය. බිහිසුණු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීමේ මානුෂීය මෙහෙයුමට උරදුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර, 2006 වසරේ දෙසැම්බර් 01 වැනිදා ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කළේය. 2009 වසරේදී, මානුෂිය මෙහෙයුම ජය ගැනීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන ක්‍රියාවලිය හරහා කොළඹ හා තදාසන්න පෙදෙස්වල පරිවර්තනයකට මුල පිරුවේය. 2015 වසරේ සිට වියත් මග සංවිධානයට නායකත්වය දුන් ඔහු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කෙරුණේ, පසුගිය අගෝස්තු 11 වැනිදාය. දින 98ක කරට කර සටනකින් අනතුරුව, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා වරමින් පත්විය. ඒ, ඡන්ද 69 ලක්ෂය ද ඉක්මවා ලබා ගනිමිනි. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ගත වූ කාලය තුළ රාජ්‍ය සේවය කාර්යයක්ෂම කරමින් රටේ සංවර්ධනය නව මාවතකට ගෙන යාම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු රැසකට එළැඹුණි. ඒ අතර, හදිසියේ පැමිණි Covid-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම පසුගිය කාලයේ රට හමුවේ තිබු දැවැන්ත අභියෝගයකි. සාක් කලාපීය රාජ්‍ය නායකයින් සමග සම්බන්ධ වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත් උත්සාහය දෙස් විදෙස් විචාරකයින්ගේ පැසසුමට ලක්විය. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නොබැඳි රාජ්‍ය නායක හමුව ඇමතුවේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අභිමානවත් ලෙස ස්ථානගත කිරීමට කටයුතු කරමිනි.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබට සුබ උපන් දිනයක් වේවා..!